උපන් දිනේ දා පිං පොංට බඩකට පුරා ගුටි

මීට වසර ගණනාවකට පෙර 'පිං පොං' ලෙසින් ඔබගේ ජනාදරයට පත් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි රාජිත හිරාන් චාමිකර කියන්නේ. මේ වසරේ රාජිතගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙන්නලු යන්නේ. ඉතින් අපි ඒ ගැන විපරම් කරලා බැලුවා.

“ඔව්. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා රංගන ජීවිතයට සමු දීලා විදේශගත වෙන්න. ඒක‍ මේ අවුරුද්දේ බලාපොරොත්තු වුණ විදියට සිදු වේවි. එහෙම කියලා ලංකාවේ මගේ රසික රසිකාවියන් අමතක කරන්නේ නෑ. ඔවුන් තමයි මේ තාක් දුර මාව ගෙනාවේ. විදේශගත වෙලා ඉන්නකොට ලංකාවේ හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා. කලා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් රැඳී සිටියොත් අපටත් වෙන්නේ සමහර කලාකරුවන්ට වෙච්ච දේම තමයි. අපිත් අවලංගු කාසි වෙනවා. ඒ නිසා දැන් රඟපෑවා ඇති කියලා මට හිතුණා. මේ වසරේ විදේශ ගතවෙන්න හිටපු සිහිනය බොහෝ දුරට ඉෂ්ට වේවි.

මේ දිනවල විකාශන වන 'ආදර වැස්සක්', 'සිංහල ක්ලාක්', 'සටකපට', 'ආටක නාටක' රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉදිරියේදී විකාශනය වීමට නියමිත 'කුසල්' ළමා චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එහි ප්‍රේක්ෂකයන් මාව දැකලා නැති වෙනස්ම චරිතයක් තමයි නිරූපණය කරන්නේ. හර්ෂ තුඩරන්දගේ 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටයට ද රංගනය දායක වෙනවා. මම තව පුංචි රහසක් කියන්නම්, මගේම කියලා චිත්‍රපටයක් කරන්නත් මේ වසරේ මම බලාපොරොත්තු වෙනවා.

උපන් දිනේ දවස් අපි කවුරුත් කැමැති කාලා බීලා විනෝද වෙන්න. පසුගිය දිනක රාජිතගේ උපන් දිනය යෙදුණ දවසක එයා මාර කෑමක් කෑවලු.  මෙන්න මේකයි වුණේ කියලා රාජිත කතාව කිව්වේ මෙහෙමයි.

“අපේ ගමට ආවා සුනිල් ශ්‍රීගේ 'තොත්ත බබාලා' නාට්‍යය. මම මගේ යාළුවොත් එක්ක ගියා ඒක බලන්න. එදා මගේ උපන් දිනය. අපි යනකොට හවුස් ෆුල් වෙලා තිබුණේ. කොහොමහරි රුපියල් සීයක් දීලා ඇතුළට ගියා. ෂෝ එක ඉවර වෙන්න රෑ වුණා. ඉතින් මම දුවගෙන දුවගෙන ගෙදර ගියා. මගේ යාළුවෝ දෙන්නත් මගේ පිටුපස්සෙන් දුවගෙන ආවා. දුවගෙන යනකොට මනුස්සයෙක් මාව අල්ලගෙන මට කම්මුල් පාරක් ගැහුවා. ඊට පස්සේ ගහගෙන ගහගෙන ගියා. මගේ පිටුපස්සෙන් යාළුවෝ දෙන්නකුත් දුවගෙන ආවනේ. ඒ මනුස්සයා හිතලා තියෙන්නේ මම මාලයක් කඩාගෙන යන හොරෙක් කියලා. බලනකොට ඒ මනුස්සයා හොඳටම බීලා.

Share this