රුපියල් 50000ක කොන්ත්‍රාත්තුවකට සමූහ දූෂණය කර මරා දැමුණු කයිට්ස්හි විද්‍යා

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප‍්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමගද සුහදව කටයුතු කැර තිබෙන බව දැනගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත සිද්ධියේ ප‍්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කැර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත‍්‍රාත්තුව ‍බාරදුන් පුද්ගලයින් එකග වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකැර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි.

මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ අයෙකු බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ‍ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කැර තිබේ.

යාපනයේ තත්ත්වය මේ වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇත.

Share this