කෝට්ටේ නගරාධිපතිගේ නිල කැබ් රිය රාජසන්තක වන ලකුණු

ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයාට අයත් නිල කැබ් රථය රාජසන්තක වීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. ඒ දක්ෂින අධිවේගී මාර්ගයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් වූ හානි මෙතෙක් නොගෙවීම මත බවට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසනවා. 

නගරාධිපතිවරයා රැගත් එම කැබ් රථය ගාල්ල දෙස සිට කොළඹට ධාවනය වෙමින් තිබියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී ඉකුත් පෙබරවාරි මස 9 වැනි දින අනතුරට ලක්ව ඇති බවට පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇත.

අනතුර වාර්තා වීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි පැමිණෙන විට නගරාධිපතිවරයා සිට නොමැති බව පොලිස් ආරංචි  මාර්ග පවසනවා.  එම ආරංචි මාර්ගවලට අනුව කැබ් රථයට බරපතල හානි සිදුව ඇති අතර අධිවේගී මාර්ගයට ද රුපියල් ලක්ෂ 4කට අධික අලාභයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. 

එම අලාභය ගෙවන තෙක් කැබ් රථය මුදානොහැරීම හේතුවෙන් එම කැබ් රථය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් විනාශ වෙමින් පවතින බවද වාර්තා වනවා.

මේ පිළිබඳ පළාත් පළාන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ මහ නගර සභාවේ කොමසාරිස් සමග සාකච්ඡාවක් කළ බවයි. 


Share this