යෝෂිත රාජපක්‍ෂ ගැන සොයන්න කමිටුවක්‌

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගත් අයුරු සොයා බැලීමට නාවික හමුදාපතිවරයා විසින් කමිටුවක්‌ පත් කර ඇති බව වාර්තා වනවා. යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසු නාවික හමුදා නීතියට පටහැනිව ඒ මහතා කටයුතු කර ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා වෙත පැමිණිල්ලක්‌ ලැබී ඇත. එය සැලකිල්ලට ගෙන ආරක්‍ෂක ලේකම්වරයා විසින් නාවික හමුදාපතිවරයා වෙත විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුකරන ලෙස දැනුම් දී තිබේ.   

ඒ අනුව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්‌ඩායමකින් යුත් කමිටුවක්‌ මගින් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ඊයේ (28 වැනිදා) පැවැසීය. යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවෙන් ඉවත් කරන ලෙස නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබෙන අතර එයට අනුමැතිය හිමි වී නැතැයි ද වර්ණකුලසූරිය මහතා කීය.

යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසු ඔහුට හිමි වූ නිලතල, විදෙස්‌ පුහුණුව සහ නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකෙරේ.

Share this