පැරදුනා නම් පොළවේ පස් යට - මෛත්‍රී

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, නව පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමුවරට සිය උපන් ගම වන පොළොන්නරුවේ සංචාරයක යෙදුණ අවස්ථාවේ මහජනතාව අමතමින්.

"මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුල සියලු පිඹුරුපත් සකස් කරලා තිබුණ මැතිවරණය අවසන් වූ වහාම මගේ දරුවන් අත්අඩංගුවට ගන්න," යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
"ඒ තුල තමයි මට වද හිංසා දෙන්න සියල්ල සැලසුම් කරලා තිබුණේ."

තමන් පරාජය කිරීම පිණිස මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය පැවරුන අවස්ථාවේ එය භාරගැනීම හැර තමන්ට විකල්පයක් නොතිබුන බවද ජනාධිපතිවරයා පැවසීය.

"මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය තුල සියලු පිඹුරුපත් සකස් කරලා තිබුණ මැතිවරණය අවසන් වූ වහාම මගේ දරුවන් අත්අඩංගුවට ගන්න"


අගමැති රනිල් වික්‍රමසිංහ ද ජනාධිපතිවරයා සමඟ පොළොන්නරු සංචාරයට එක් වී සිටියේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් වූ අවස්ථාවේ ප්‍රබල කැපකිරීමක් කළ බව රැලිය අමතමින් සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, ඒ අවස්ථාවේ ඔහු දියත් කළ සටනට පැවතියේ 'අන්ත දෙකක්' පමණක් බව පැවසීය.
"රජගෙදර නැත්නම් හිරගෙදර," එම අන්ත දෙක බව අගමැතිවරයාගේ විග්‍රහයයි.


රාජපක්ෂ පාලනය පිළිබඳව කළ කිරී සිටි පුද්ගලයන්ට එම පාලනයෙන් පිටතට ඒමට අවස්තාව සලසා දෙමින් ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය ස්තුතිය හිමිවන බවද අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.


සිය ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රතිවාදීන්ට හිරිහැර නොකරන මෙන් තමන් කළ ඉල්ල්ලීම පාක්ෂිකයන් බොහෝ දෙනා පිළිගත් නමුත් අතලොස්සක පිරිසක් එම ඉල්ලීමට සවන් නොදීම පිළිබඳව අගමැතිවරයා කනගාටුව පළ කළේය.









Share this