Two arrested with ganja

ලක්ෂ දෙකක ගංජා සමග දෙන්නෙක් පන්නිපිටියේදී කොටු

රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා ගංජා කිලෝ හයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කොට්ටාව පොලීසිය විසින් පන්නිපිටිය ධර්මපාල මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව පොලීසියට ලද තොරතුරක් මත සිදු කෙරුණු මෙම වැටලීමේදී මිද්දෙණියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් සහ ඇරැව්වල පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කාලයක් තිස්සේ අධිවේගී මාර්ගය ඔස්සේ බසයෙන් කොළඹට ගංජා ප්‍රවාහනය කර ඇති බවයි කොට්ටාව පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝ 6ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. දෙවන සැකකරු ගංජා කිලෝවක පමණ ප්‍රමාණයක් අලෙවිය සඳහා වෙළෙඳ සැලකට ගොස් සිටියදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 19 වැනිදා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.බී. සමරසිංහ මහතාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දයාවංශ, පො.කො. බණ්ඩාර, පො.කො. නිරෝෂන් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ මෙහෙයවීය.


සටහන හා ඡායාරූප - ප්‍රියංගි ඒ. ජයසිංහ

Share this