Lasith Malinga expected to miss half of IPL season

අයි.පී.එල්. යන මාලිංග මුම්බායි පිලට මැදින් පනින ලකුණු

ආබාධයක්‌ හේතුවෙන් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ක්‍රීඩා නොකළ ලසිත් මාලිංග හෙට (09 දා) ඇරඹෙන අයි.පී.එල්. විස්‌සයි විස්‌ස තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස්‌ පිලට ක්‍රීඩා කරනු ලබන්නේ තරගාවලියේ මැද භාගයේ සිට බව වාර්තා වේ.

සමස්‌ත තරග 56 කින් යුත් මෙවර අයි.පී.එල්. තරගාවලිය ලබන මැයි මස අවසානය දක්‌වා ක්‍රියාත්මක අතර එහිදී එක්‌ කණ්‌ඩායමක්‌ තරග අටකට සහභාගි වේ.
මුම්බායි පිලේ සිව්වැනි තරගය 24 වැනිදා අවසන් වන අතර අනතුරුව ඇරඹෙන දෙවැනි වටය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. මාලිංග ක්‍රීඩා කරන මුම්බායි කණ්‌ඩායම හෙට සමාරම්භක තරගයට පුනේ කණ්‌ඩායම සමග පැවැත්වේ.

කණ්‌ඩායම් අටක්‌ තරග වදින නව වැනි අදියරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන ඇත්තේ ලසිත් මාලිංගට අමතරව තිසර පෙරේරා පමණි. කෙසේ වෙතත් ලසිත් මාලිංගට පස්‌වැනි තරගයේ සිට මුම්බායි ඉන්දියන්ස්‌ පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවක්‌ ඇති බව එම කණ්‌ඩායම් පුහුණුකරු රිකී පොන්ටින්ද විශ්වාසය පළ කර සිටියි.

”‍මාලිංග තරගාවලිය අතරතුරදී සුවවෙලා කණ්‌ඩායමට එක්‌ වෙයි කියල අපිට විශ්වාසයි. ඔහුට පස්‌වැනි තරගයේ ඉදල ක්‍රීඩා කිරීමේ හැකියාවක්‌ තියෙනවා. ඒ කොහොම වුණත් මුම්බායි පිලේ පළමු තරග දෙකෙන් පස්‌සෙ මාලිංගගේ ශාරීරික තත්ත්වය පරීක්‍ෂා කර බලල අපි තීරණයක්‌ ගන්නවා. මාලිංග කියන්නේ විශිෂ්ට පන්දු යවන්නෙක්‌. ඔහු අලු‍ත් පන්දුවෙන් මෙන්ම පරණ පන්දුවෙනුත් එක වගේ දක්‍ෂතා දක්‌වනවා.”‍ යෑයි පොන්ටින් පවසයි.

ඒ අනුව ලසිත් මාලිංග තරගාවලියේ මැද භාගයේ සිට මුම්බායි කණ්‌ඩායමට ක්‍රීඩා කරවීමේ හැකියාවක්‌ ඇති බව රිකී පොන්ටින් පැවසුවත් යම් හෙයකින් මාලිංගට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඒ වෙනුවට ටිම් සවුති හෝ මර්චන්ට්‌ ද ලෑන්ග් ක්‍රීඩා කරවීම කෙරෙහිද ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවේ.

අයි.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම කඩුලු‍ ලාභියා වන ලසිත් මාලිංග තරග 98 කදී කඩුලු‍ 143 ක්‌ ලබා තිබේ. ඒ සඳහා ඔහු පන්දුවාර 381.3 ක්‌ යවා ඇති අතර හොඳම පන්දු යෑවීම වාර්තා වන්නේ ලකුණු 13 කට කඩුලු‍ 5යි. ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනුවෙන් විස්‌සයි විස්‌ස තරග 62 කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී දවාගත් කඩුලු‍ සංඛ්‍යාව 78 කි.

මාලිංගට අමතරව අයි.පී.එල්. තරගවලදී කඩුලු‍ සියයක්‌ ලබා ගත් පන්දු යවන්නන් සිව්දෙනකු සිටින අතර එහිදී අමිත් මිස්‌රා (111), හර්බජාන් සිං (110), පියුස්‌ චවුලා (109) සහ ඞ්වයින් බ්‍රාවෝ (105) මාලිංගට පසුපසින් කඩුලු‍ සියයක්‌ දවාගත් පන්දු යවන්නෝ වෙති.

මුම්බායි කණ්‌ඩායමේ මෙවර නායකත්වය දරන්නේ ඉන්දියානු ආරම්භක පිතිකරු වන රෝහිත් ෂර්මාය. පසුගිය වසරේ අයි.පී.එල්. ශූරතාව දිනාගත් මුම්බායි කණ්‌ඩායම මෙතෙක්‌ පැවැති තරගාවලි අටේදී ශූරතාව දෙවරක්‌ දිනාගෙන ඇති අතර ඒ දෙවතාවේදීම මාලිංගගේ දක්‍ෂතාව මුම්බායි පිලට විශාල ශක්‌තියක්‌ විය.

Share this