බාල වයස්කාර දැරියක් ලොව පැරණිම රැකියාවට යෙදවූවෙක් මාට්ටු (වීඩියෝ සහිතයි)
========================================
බාල වයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අළෙවි කිරීමේ ස්ථානයක් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මහින් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ. ළමා හා කාන්ත කාර්යංශය වෙත පැමිණි පුද්ගලයෙක් ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහත්මිය වෙත පෙබරවාරි 11 වන දින පැමිණිලි කොට ඇත්තේ දැනට මාස 03 කට පෙර තම නිවසින් අතුරුදහන් වූ 17 හැවිරිදි දියණිය මහනුවර බුවැලිකඩ ප‍්‍රදේශයේ ස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකා වෘතියේ යොදවන බවට තමාට තොරතුරු ලැබී ඇති බවය.
එම අවස්ථාවේදී වහාම ක‍්‍රියාත්මක වූ ස්ථානධිපතිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම සමග එම ස්ථානය වෙත ගොස් විමර්ශන සිදු කළ අවස්ථාවේ එහි රහසිගතව සඟවා සිටි බාල වයස්කාර දැරියන් මෙන්ම ගණිකා වෘත්තියේ යොදවා සිටි 30 හැවිරිදි කාන්තාවක්ද සොයා ගැනීමට හැකිවී තිබේ.
එම දැරිය හා කාන්තාවද ඔවුන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණ සිටි තරුණයන් දෙදෙනෙක් හා එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා බවට සැක කරන අයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් දැරිය පොලිසිය හමුවේ සඳහන් කළේ මහනුවර නගරයේදී හඳුනාගත් කාන්තාවක් විසින් රැකියාවක් ලබාදෙන මුවාවෙන් තමා මෙම ස්ථානයට රැගෙන ආ බවත් එහි සිටි මැරවර පිරිසක් විසින් තමාට තර්ජනය කොට බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවා විශාල වශයෙන් මුදල් ලබා ගත බවත්ය.
පසු ගිය දිනයක තමාගේ පහස පතා ආ පුද්ගලයෙකු හට තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව හෙළි කිරීමෙන් පසු ඔහු තම පියා සොයා ගොස් ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව පියා පොලිසිය සමඟ පැමිණ තමා බේරාගත් බවය.
මෙම ස්ථානයේ රඳවා සිට ගණිකා වෘත්තියේ යොදවා සිටි 30 හැවිරිදි කාන්තාවද සඳහන් කළේ මෙම ස්ථානයට දිනපතා සේවා දායකයන් විශාල පිරිසක් පැමිණෙන බවත් රුපියල් 5000 සිට 10000 දක්වා වූ විශාල මුදල් අය කරමින් තමා මෙන්ම දැරියද ගණිකා වෘත්තියේ යෙදවූවද තමාට ලබා දුන්නේ දෛනිකව ඉතා අඩු මුදලක් යනුවෙනි.
බාල වයස්කාර දැරිය කීප වරක්ම මෙම ස්ථානයෙන් පලා යාමට උත්සහ දරා ඇතත් එම ස්ථානයේ ඇති දැඩි රැකවල් හමුවේ එම සියළු උත්සාහයන් අසාර්ථක වූ බවත් එම අවස්ථාවන්හි එහි සිටි මැරවර රැකවලුන්ගේ දැඩි තාඩන පීඩන වලට පවා ලක්වීමට සිදුවූ බවත් ඇය සඳහන් කරයි.
මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ගණිකා වෘත්තිය කරගෙන ගොස් ඇති අතර මෙයට සම්බන්ධ වුවන්ට දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළා.
