Not ready to break the majority of the SLFP for a family

පවුලක්‌ වෙනුවෙන් ශ්‍රීලනිපය කඩන්න බහුතරය ලෑස්‌ති නැහැ 
=========================================
එක පවුලක අනාගතය වෙනුවෙන් කෝටි දෙකක ජනතාවගේ සිහිනය කඩා බිඳ දැමීමට නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කඩා බිඳ දැමීමේ කුමන්ත්‍රණයට තමන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු  ප්‍රබලයන් බහුතරයක්‌ පක්‌ෂයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (12 වැනිදා) පැවසුවා.  වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට බවත් එම නිසා රටට ආදරය ඇති කිසිම කෙනෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට සහභාගි නොවන බවත් පැවසීය. 

එසේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස අද තහවුරු කර ඇති බවත් ඉස්‌සර පක්‌ෂය තුළ මෙහෙම නිදහසක්‌ නොතිබූ බවත් එම නිසා තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු අපිට එදා පක්‌ෂයෙන් එළියට බහින්න සිදු වූ බවත් පැවසීය. කෙසේ වෙතත් එලෙස පක්ෂයෙන් ඉවත් වූ පිරිස අලුත් පක්‌ෂ නොසෑදු බවද දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නා.

පසුගිය දිනවල පක්‌ෂයට විරුද්ධව අදහස්‌ දක්‌වන ලද පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්‌ මෙම කුමන්ත්‍රණය නිවැරදිව තේරුම් ගෙන තමන් දිවි හිමියෙන් පක්‌ෂය ආරක්‌ෂා කරන බවට පක්‌ෂයට දැනුම් දී ඇති බවද දිසානායක මහතා මෙහිදී කියා සිටියා. 

එසේම ආණ්‌ඩුවේ ඇමැතිකම් කරන සියලු දෙනාත් විපක්‌ෂයේ සිටින මන්ත්‍රීවරුනුත් පළාත් සභාවල මැති ඇමැතිවරුනුත් පක්‌ෂය සමඟ ඉදිරියටත් සිටින බව තහවුරු කර ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Share this