Mar242015

සරණ ආයෙත් රිමාන්ඩ්

රුපියල් ලක්ෂ අනූහයක් වටිනා යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් චංචා කිරීම හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ රිමාන්ඩ් බාරයේ පසුවූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , ඛණිජ තෙල් කර්මාන්ත පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගූණවර්ධන මහතාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම ඉවතලා මේ මස 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය ඊයේ (23) නියෝග කළාය.

හලාවත ප්‍රදේශයේ මොහොමඩ් රස්මි නැමැති ව්‍යාපාරිකයකු කර තිබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 12 දා ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ තිබිණි.

ඊයේ 23 මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් සැකකාර හිටපු ඇමැතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරණු අතර දෙවන සැකකරුවූ දැනට ඇප මත මුදා හැර සිටින අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි අශෝක වීරක්කොඩි මහතාද පෙනී සිටියේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලාල් කුමාරපේලි මහතා අධිකරණයට කරුණු දක්වමින් මේ පළමු සැකකරුට එරෙහිව මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවත්නා නඩු පිළිබඳ කරුණු දැක්වූ අතර ඇප පනත යටතේද කරුණු ඉදිරිපත් කරනු ලැබීය. සැකකරුගෙන් පැමිණිලිකරුට හා සාක්කිකරුවන්ට තර්ජන සිදුවන බවට හලාවත පොලිසියට පැමිණිලි කර ඇති බවට කරුණු දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනිල් ස්ලවා මහතා ඇතුළු කන්ඩායමක් පෙනී සිටි අතර එහිදී කරුණ දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඔිනෑම කොන්දේසියක් යටතේ සැකකාර හිටපු ඇමැතිවරයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය. දෙපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් මේ මස 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරනු ලැබීය.

ඇප මත සිටින සෙසු සැකකරුටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරනු ලැබීය. පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක අබේධීර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීය.

Share this

More Gossip News