චේතනා එක්ක පවුල් කන්න හරි ලේසියි..

කසුන් පැස්කුවල් කියන්නේ ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවල්ගේ පුතණුවන්. ඔහුත් දැන් ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම රියැලිටිකරණයෙන් සංගීතයට අවතීර්ණ වූ චේතනා රණසිංහ කසුන්ගේ ආදරණීය බිරිඳ බවත්, දැන් නොදන්නා කෙනෙක් නැති තරම්..

විවාහයෙන් පස්සේ මේ දෙන්නාගේ පවුල් ජීවිතයේ අලුත් තොරතුරු ගැන කතා බහ කළේ නැති තරම්... ඒ නිසාම තරුණ යුවළක් වන කසුන් හා චෙත්නාගේ පවුල් ජිවිතයේ රසමුසු තැන් ගැන දිගහැරෙන සටහනකි මේ...
කසුන් කොහොමද ජීවිතේ….?
''පෞද්ගලික ජීවිතය වගේම සංගීත ජීවිතය සමබරව විඳිනවා. සතුටින් ජීවත් වෙනවා...''

ඔබ චේතනා එක්ක විවාහ වෙලා වර්ෂයකට කිට්ටුයි. විවාහ ජීවිතයේ වගකීම දැන් දැනේනවා වැඩි ඇති…?
''විවාහ වෙනකොට නම් හිතුණේ ඒ වගකීම දරා ගන්නේ කොහොමද කියලයි. ඒත් විවාහ වුණාට පස්සේ තේරුණා කියන තරම් බරපතළ නැහැ කියලා. ඉස්සර අපි දෙන්නා ආදරය කරන කාලේ හිටියා වගේමයි අදත් දැනෙන්නේ. වෙනසකට තියෙන්නේ දෙන්නම එක තැනක ජීවත් වෙන එක විතරයි. අපි දෙන්නා නම් සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම කිව්වොත් ඒකත් සුන්දර අත්දැකීමක්...''


චේතනා තවම අධ්‍යාපන කටයුතුවල නියැළෙන කෙනෙක් නිසා ගෙදර දොරේ වැඩවලට මුල්තැන දෙන්නේ කැමැත්තෙන්ද…?
''චේතනා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නවා. එයයි, මමයි ඉන්නේ මගේ අම්මා ළඟ. අම්මා ඉන්න නිසා අපි දෙන්නටම පහසුයි. අම්මා තමයි අපිට උදව් කරන්නේ.

අම්මා චේතනාට එයාගේ වැඩ නිදහසේ කරගන්න උදව් කරන නිසා මම හිතන්නේ චේතනාට විවාහ ජීවිතේ අමාරුයි කියලා තේරේන්නේ නැහැ.... එයාට පුළුවන් හැම මොහොතකම එයා ගෙදර වැඩවලට උදව් කරනවා. එහෙම වගකීම්වලින් ඈත් වෙලා එයා ඉන්නේත් නැහැ..''


චේතනා උයන්න දක්ෂ කෙනෙක්ද…?
''එයා ගෙදර ඉන්න දවස්වලට උයනවා. හැම දවසකම උයන්නේ නැති වුණත් අම්මට උදව් කරනවා. එයාගේ කෑම හරිම රසයි. එයා දක්ෂයි විවිධ කෑම වර්ග හදන්න. ගෙදර චේතනා ඉන්නවා නම් විශේෂ කෑමක් කන්න පුළුවන්.''

ලංකාවේ බහුතර ගෘහ ජීවිතවල නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවා. කසුන්ගේ ගෙදර වටපිටාවෙත් ඒ තත්ත්වයමද තියෙන්නේ…?
''කොහෙත්ම නැහැ.... චේතනා අම්මා එක්ක ගොඩක් එකතුයි. නැන්දම්මා ලේලි කියන සම්බන්ධයට වඩා ඒ දෙන්නා අතර තියෙන්නේ අම්මා, දුව කියන බැඳීම. ඒ නිසා වෙන්න ඇති ඒ දෙන්නා හොඳින් ජීවත් වෙන්නේ. ප්‍රශ්න නැහැ... 

කොහොමත් චේතනා එක්ක ජීවත් වෙන්න ලෙහෙසියි. මට වුණත්. ඕනෑම දෙයක් තේරුම් ගන්න එයාට පුළුවන්. ඒක ඇත්තටම පවුල් ජීවිතය පවත්වා ගෙන යන්න පහසුවක් කිව්වොත් මම හරි...''

කසුන්ට සංගීත අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් දැනුමක් තියෙද්දී ඇයි ඔබේ ගීත සඳහා ඔබම සංගීතය සපයා නොගන්නේ….?
''මායා රැයේ කියන ගීතය වෙනස් ආරකට ගන්න අවශ්‍ය නිසා මම හිතුවා ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික් යොදා ගන්න. ඒකට දක්ෂ කෙනා තමයි සනුක... ඒ නිසා මම එයාට කියලා ඒ ගීතයට සංගීත නිර්මාණය කරගත්තා. අනිත් ගීතත් එහෙමයි. ඉදිරියේ දී සංගීත අධ්‍යක්ෂණය ගැන හිතනවා.''


යුග ගී සඳහා ඔබේ හඬට බිරිඳ චේතනාගේ හඬ ගළපගන්න අදහසක් නැද්ද….?
''මමයි, චේතනයි යුග ගීත කිහිපයක් කරන්න හිතුවා. ඒවා තවම නිර්මාණය වෙමින් පවතිනවා. නිර්මාණය කරලා අවසන් වුණාට පස්සේ රසිකයින්ට ලැබෙන්න සලස්වනවා. ''සිංහ මචං චාලී..'' කියන චිත්‍රපටයෙත් අපි දෙන්නා තමයි ගීතය ගායනා කරන්නේ. අපි දෙන්නාගේ හඬ ගැළපෙනවා කියලා මටත් හිතෙනවා.''

ඔබේ පියා රියැලිටි වේදිකාවේ විනිසුරුවෙක් හැටියට නිරන්තරයෙන් කටයුතු කරනවා. රියැලිටි වේදිකාවේ විනිශ්චයට ඔබට ඇරයුම් ලැබෙනවද…?
''තවම නම් මට ආරාධනා ලැබිලා නැහැ..''

කසුන් තවමත් පියාගේ නමින් බැබළෙන කෙනෙක් කිව්වොත්….?
''මාව ප්‍රසිද්ධ වේදිකාවට ගෙනාවේ මගේ තාත්තා. මොන දේ කළත් කවුරුත් මාව හඳුනා ගත්තේ කීර්තී පැස්කුවල්ගේ පුතා හැටියටයි. මට සංගීත වැඩකටයුතුවලට ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම තාත්තාගෙන් අහනවා. ඒත් කවදාවත් මම තාත්තාගේ නමින් බැබළුණ කෙනෙක් නෙමෙයි. තාත්තා කැමැතිත් නැහැ.... තාත්තා කැමැති මම මගේ අනන්‍යතාව ගොඩ නගා ගන්නවට.''













Share this