බරපතල සිදුවීම් නැහැ - 50ක් විතර රෑ කෑමට බන්ධනාගාරයට යාවි

බරපතළ සිදුවීම් කිසිවක් වාර්තාවී නැති බවත්, එකදු ඡන්ද පොළක හෝ ඡන්දය ශුන්‍ය කිරීමට සිදුනොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ මහකොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ වුවද ජ්‍යෙෂ්ඨ ඡන්දපොළ ස්ථානාධිපතිවරුන්ගේ වාර්තාව ලැබෙනතුරු ඒ පිළිබඳ අවසන් තහවුරු කිරීමක් කළ නොහැකි බව හෙතෙම කියා සිටියේ අද (17) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

සුළු පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර ඇතැම්විට ලැබෙන පැමිණිලිවලට වැඩියෙන් මැතිවරණ නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනීම් සිදුවන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය. මේ හේතුවෙන් අද රාත්‍රීයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රාත්‍රී භෝජනය භුක්ති විඳින්නන් 50 ක් පමණ වනු ඇතැයි තමන් අනුමාන කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ 25 දෙනෙකු ඉවත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුවී ඇත්දැයි මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් කොමසාරිස්වරයා කියා සිටියේ තම විමසීම් කවුන්ටරයට ලැබී ඇත්දැයි නොදන්නා නමුත් තමාට මෙතෙක් නොලැබුණු බවයි. අනෙක් අතට මේ මොහොතේ තමන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඡන්දය ගණන් කිරීමේ කටයුත්තෙන් ඉක්බිතිව ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

පක්ෂයක ඇත්තේ එක ලේකම්වරයෙකු බවත්, සමලේකම්වරුන් යනුවෙන් කිසිවෙක් නොමැති බවත්, එසේම පක්ෂවල ලේකම්වරුන් ගැන තීරණයක් ගැනීමටද තමන් මේ මොහොතේ හදිසි නොවන බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඡන්දය ගණන් කිරීමේ සිට අවසන් ප්‍රතිඵලය නිකුත් කරන තෙක් පවත්නා තත්ත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට තමන් බලාපො‍රොත්තු වන බව ඔහු පෙන්වා දුන්නේය.

Share this