නොදන්නකමට කුරුටු ගෑව සිරදඬුවම් නියවූ දුවට පොදු සමාවක් දෙන්න - මව ආයාචනා කරයි

"සීගිරිය කැටපත් පවුරේ මගේ දරුවා නොදැනුවත්කමින් තමන්ගේ නම ලිව්වා. එහි ලියන්න හොඳ නැහැ කියා නොදැනුවත්කමටයි ඇය මෙය කළේ. එසේ නොදැනුවත්ව කළ වරදට ඇයට සමාව දෙන්න. මගේ දරුවා නිදහස්‌ කර දෙන්න" යෑයි සීගිරිය කැටපත් පවුරේ කොණ්‌ඩා කටුවකින් කුරුටු ගෑවාට දෙවසරක සිර දඬුවම් නියම වූ සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදය ශ්‍රී නමැති තරුණියගේ මව හැඬූ කඳුළින් එසේ ආයාචනා කර සිටී.

සීගිරිය කැටපත් පවුරේ නම ලියූ නිසා චෝදනා ලැබ දඹුල්ල අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින උදය ශ්‍රී ගේ මව මේ පිළිබඳව හැඬූ කඳුළින් මෙසේ පවසා සිටියාය.

මාගේ දුව පසුගිය පෙබරවාරි 14 වැනිදා ඇයගේ යෙහෙළියන් සමග සීගිරිය නැරඹීමට ගියා. එහිදී තවත් නම් කුරුටුගා තිබීම දැක දුවත් තමන්ගේ නම එහි ලියා තියෙනවා. කැටපත් පවුරේ නම ලියන්න හොඳ නැහැ කියලා ඇය දැන සිට නෑ. එහෙම දැනගෙන සිටියා නම් ඇය මෙහෙම කරන්නේ නෑ. ඇය කුඩා කාලයේදීම පියා මියගියා. මම පිටිකොටලා ආප්ප පුච්චලා තමයි දුව ලොකුමහත් කළේ. මගේ දුව සිත්තාන්ඩියේ පිහිටි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා. ඇය යහළුවන් එක්‌කයි සීගිරිය නැරඹීමට ගියේ. සිද්ධිය වුණ හැටියේම සීගිරියේ නිලධාරීන් දෙදෙනකු පැමිණ දුවට කියා තිබෙනවා මෙසේ කුරුටු ගාපු නිසා ලක්‍ෂයක දඩ මුදලකුත් අවුරුදු පහක සිර දඬුවමකුත් ලැබේවි කියා. එවිට මගේ දුව බියට පත්වී සීගිරිය ගලෙන් පැන සියදිවි නසා ගැනීමට තැත්කර තිබෙනවා. එවිට ඇයගේ යෙහෙළිය ඇයව බේරාගෙන අස්‌වසා රැගෙන ඇවිත් තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවල බොරු පළ වුණා. ඇයගේ පෙම්වතාගේ නම ලියූ බවට. එසේ පෙම්වතාගේ නම ලිව්වේ නෑ. ඇය ටී. උදයා කියා තමයි ලියලා තියෙන්නේ. ඇයගේ යෙහෙළිය වන තරුෂනීගේ නමේ මුලකුර හා ඇයගේ නම ලියලා තියෙන්නේ. පෙම්වතාගේ නම ලියූ බවට පළවීමෙන් දුව අවමානයට ලක්‌වුණා.

දැන් සියලු දේ වී හමාරයි. දුවට අවුරුදු දෙකක සිරදඬුවමක්‌ නියම කරලා. අනේ මහත්තයෝ මගේ දුව බේරා ගන්න උදව් කරන්න. ඇය නොදැන කරපු වරදකට දඬුවම් ලබා සිටිනවා. 

මේ අවනඩුව අපට කියන්න කවුරුත් නෑ. මේකට මුල්ම හේතුව අපි සිංහල දන්නේ නෑ. වෙච්ච දේ පහදා දෙන්න බැරිවුනේ ඒ නිසයි. 

පොදු සමාවක්‌ හෝ ලබාදී මගේ දරුවා නිදහස්‌ කරලා දෙන්න. දුව නැතිනම් මටත් මැරෙන්නයි වෙන්නේ.


පසුගිය පුවත් වැලන්ටයින්දා සීගිරි කැටපත් පවුර කෙළෙසූ සින්නතම්බි උදේනි අවුරුදු දෙකකට හිරේට

Share this