A man attacked a mother of three children

පෙමට අකීකරු වූ නිසා ඇබිත්තයාගෙන් තිදරු මවකට පිහි පහර 6ක්

ගාල්ල ප්‍රදේශයේ විහාරස්‌ථානයක ඇබිත්තයකු තිදරු මවකට පිහියෙන් ඇන බරපතළ තුවා සිදුකර ඇතැයි වාර්තා වනවා. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ තිදරු මව ප්‍රතිකාර සඳහා (12 දා) ඔක්‌කම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට මාරු කර යැවුණු බවයි වාර්තා වන්නේ. 

මෙසේ පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ ඔක්‌කම්පිටිය සාම මාවත, 17 කණුව පදිංචි 28 හැවිරිදි තිදරු මවකි.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තුවාල ලැබූ කාන්තාවට ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වීමට කලක සිට මෙම සැකකරු යෝජනා කර ඇති අතර කිහිප අවස්‌ථාවකදී ඇය පැහැර ගැනීමටද උත්සාහ කර ඇති බව පොලීසිය පවසනවා. ඇබිත්තයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම නිසා උරණවූ 55 හැවිරිදි සැකකරු ඇය නිවසේ සිට අසල කැලෑ ප්‍රදේශයට ඇදගෙන ගොස්‌ ස්‌ථාන කිහිපයකටම පිහියෙන් ඇන දරුණු තුවාල සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ස්‌ථාන 6 කට පමණ දරුණු පිහි ඇනුම් සිදු කර ඇති නිසා ඇයගේ තත්ත්වය බරපතළ බවද විමර්ශන සිදු කරන පොලීසිය පවසනවා.  එම පිහියද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රැගෙන විත් තිබූ වස බෝතලයක්‌ද හමු වූ බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබූ කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක්‌ කරන අයෙකි.


Share this