අස්ගිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට
=====================================
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට ඉරුදින (13 දා) පස්වරුවේ පැවැත්වීම සඳහා සියලු සංවිධාන කටයුතු අවසන් වෙමින් පවතී. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටියේ දී හෙට (13 දා) පස්වරු 2.00 ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ වෙයි.
ආදාහනය සඳහා මහ නාහිමිපාණන් වහන්සේගේ දේහය අස්ගිරි මහා විහාරයීය උපාලි ධර්ම ශාලාවේ සිට පොලිස් ක්‍රීඩාංගණය දක්වා වූ ආදාහන පෙරහැර මාර්ගය දෙපස කහ කොඩි ප්‍රදර්ශනය කිරීමටත්, පොලිස් ක්‍රීඩාංගණයද කහ කොඩියෙන් සැරසීමටත්, ආදාහන සංවිධාන කමිටුව තීරණයක් ගෙන තිබේ.
රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන ආදාහන පූජෝත්සව සංවිධාන කමිටුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ටී. හිටිසේකර මහතා අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ උපදෙස් මත ආදාහන පූජෝත්සවයේ වැඩසටහන සැලසුම් කරයි.
සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා වාරයක් ඊයේ (11 දා) පස්වරුවේදී ද අස්ගිරි මහා විහාරයේ දී පැවැත්විණ.
මේ අතර ආදාහන පූජෝත්සවය වෙනුවෙන් මහනුවර නගර සීමාව පවිත්‍රව සහ ජලය හා විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය උපදෙස් කාර්ය මණ්ඩලයන් වෙත මහනුවර පුරපති සේන දිසානායක මහතා විසින් ලබාදී තිබේ.
ඉකුත් බදාදා රාත්‍රියේ මහනුවර මහ රෝහලේ දී අපවත්වූ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
දේහය බ්‍රහස්පතින්දා (10 දා) අස්ගිරි මහා විහාරයේ තැන්පත් කිරීමෙන් පසුව විශාල වශයෙන් පිරිස් දේහයට උපහාර දැක්වීම සඳහා පැමිණෙමින් සිටියහ.
එම පිරිස් අතර සිංහල බෞද්ධ මෙන්ම අන්‍ය ජාතික හා ආගමික පිරිස්ද වූහ.
අපවත් වී වදාළ ගලගම ශ්‍රී අත්ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඓතිහාසික මහියංගන රාජමහා විහාරාධිපති වහන්සේ පදවියද දරමින් සිටි බැවින් මහියංගන ප්‍රදේශවාසී පිරිස්ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ සිටියහ.
රජයේ මැති ඇමැතිවරුද, සෙසු මහජන නියෝජිත පිරිස් හා තායිලන්ත නියෝජ්‍ය අගමැති ආචාර්ය සොම්කඩ් ප්ට්රස්රිටාක් මහතා ප්රමුඛ බෞද්ධ නියෝජිත පිරිසක්ද සිකුරාදා (11 දා) පෙරවරුවේ මාහිමි දේහයට අවසන් බුහුමන් දැක්වූහ.