ඇවන්ගාඩ් සල්ලි ගත්ත වෙබ් අඩවි තහනම් කරනවා

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති මාධ්‍යවේදීන් හෝ "වෙබ් අඩවි" වේ නම් ඒ පිළිබඳ තොරතුරු හෙළිවූ විගසම ඒවා සම්බන්ධයෙන් විභාගයක් පවත්වා මුදල් ලබා ගත් මාධ්‍යවේදීන් වෙතොත් ඔවුන්ගේ ජනමාධ්‍ය හැඳුනුම්පත තහනම් කිරීමටත්, වෙබ් අඩවි වෙතොත් ඒවායේ බලපත්‍ර තහනම් කිරීමටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහත්වරු ප්‍රකාශ කරති.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් මාධ්‍යවේදීන් හෝ වෙබ් අඩවි වෙතොත් ඔවුන්ට එරෙහිව ගන්නා පියවර කුමක්දැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඔවුන් ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගමේ යථාර්ථය පැහැදිලි කරමින් ඇවන්ගාඩ්වල මුදලට යට නොවී සිටින මාධ්‍යවේදීන්ට කිසිවකු හෝ බලපෑම් කරන්නේ නම් ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙසයි. එම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද ඔවුහු පැවැසූහ.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "ඇවන්ගාඩ් මුදලට" යටනොවී මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍යවේදීන්ට තමාගේ ප්‍රණාමය හා ගෞරවය හිමිවන බවත් ඔවුන් අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බවත්ය.

ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් හා වෙබ් අඩවි හිමිකරුවන් මුදල් ලබාගත් චෙක්පත් අංක ඇතුළු සියලුම විස්තර ඉදිරි දිනයකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙළි කරන බැව් ඔහු පවසා ඇති බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Share this