පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - එජාප මන්ත්‍රීට තර්ජන

රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. විදේශ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වීමෙන් පසු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජබර් රහුමාන් මහතා නැගී සිටියා. එහිදී මන්ත‍්‍රීවරයා වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ දැන් ඔක්කොම එළි වෙලා තියෙන්නේ. එදා අනතුරකින් මිය ගියා කියූ තාජුඩීන් අද ඝාතනය කර ඇති බව හෙළිවෙලා. මෙම ප්‍රකාශය එජාප මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටිනවාත් සමග ඊට ඊට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි ලෙස විරෝධය පළ කළා. විරෝධය හමුවේ සිය කතාව දිගටම කර ගෙන ගිය එජාප මන්ත්‍රීවරයා අසලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ ඔහුගේ කතාවට බාධා වන අයුරින් හැසිරුණා.

එහිදී ඔවුන් මුජබර් රහුමන් මහතාට තර්ජනය කර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද මුජබර් රහුමාන් මහතාගේ ආසනය අසලට පැමිණියා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී මූලාසනයේ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එඞ්වඞ් ගුණසේකර මහතා තීරණය කළේ සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමටයි.

ඉන් අනතුරුව කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වුණා. එහිදී කථානායකවරයා කියා සිටියේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ප‍්‍රකාශයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් එහිදී නැගී සිටි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි. මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළදී අදහස් දක්වමින් සිටියදී මෙවැනි තර්ජනය කිරීමක් සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බැවින් මුජර් රහුමාන් මහතා සිදුකළ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ද පාර්ලිමේන්තුව තුළ යළි නොසන්සුන්තාවයක් ඇති වුණා. තත්ත්වය පාලනය කරගැනීමට කථානායකවරයා අවස්ථා කිහිපයකදී උත්සහ කළ අතර අවසානයේදී සභාව යළිත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළා.

සිද්ධියට සම්බන්ධ වීඩියෝව පහතින්


Share this