ඡන්දේ කාලේදී වෙඩි නොවදින රථයට යන වියදම ගෙවීමට රනිල් සූදානම්


තමන්ගේ ආරක්ෂාව උදෙසා ලබාදී ඇති වෙඩි නොවදින වාහනය මැතිවරණ ස‍මයේ භාවිත කිරීමේ දී රජයට දරන්නට සිදුවන මුදල ගෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් ‍යොමුකරන අගමැති වික්‍රමසිංහ මහතා වෙඩි නොවදින මෝටර් රථය භාවිත කිරීම නිසා ඊට ගෙවීමක් රජයට කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී තිබේ. ලංකා දේශපාලන ඉතිහාසයේ දේශපාලකයකු මෙවැනි ඉල්ලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. එසේම ඇමැතිවරුන් දැනට රජයේ වාහනයක් මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඊට වැය වන මුදල ගෙවීමටත් වැඩි වාහන ආපසු ලබා දීමටත් එකඟතාවය පළකර තිබේ.


මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කර ඇති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මැතිවරණ කටයුතුවල යෙදෙන දේශපාලකයින්ට නොමිලේ ලබාදීම නතර කරන ලෙසට ගුවන් හමුදාපතිවරයාට උපදෙස් දී තිබේ.


ගරාජ් අංක සහිත වාහන හා අංක රහිත වාහන අද සිටම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.


අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩල භාවිත කරන වාහන ආපසු අදාළ අංශවලට භාරදෙන ලෙසත් ලංගම බස් රථ මුදල් ලබා නොගෙන දේශපාලන කටයුතුවලට ලබා නොදෙන ලෙසටද කොමසාරිස්වරයා උපදෙස් දී තිබේ.

Share this