නිළියගේ දුරකථනය උස්සා පොලීසියට කොටු වූ හොරා

දුලාංජලී ආරියතිලක සමනළ තටු චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළිය ලෙස රඟපාමින් සුවහසක් ප්‍රේක්ෂක සිත්සතන් අමන්දානන්දයට පත් කළාය.
ඇයගේ නිසඟ කුසලතාවය සමනළ තටු මගින් අපූරුවට පෙන්නුම් කළ නිසා ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍රවූවාය. 

සම්මානනීය නිළි දුලාංජලී දන්නා කියන කාලයක සිට ගත කරන්නේ දකුණු කළුතර පැත්තේ ළමා නිවාසයකය. ඒ අන් කවර නිසාවත් නොව ඇය ආබාධිත තත්ත්වයක පසුවන නිසාය. 

පසුගිය දවසක රෑ දුලාංජලී ළමා නිවාසයේ උඩුමහලේ ඇයට වෙන්ව තිබෙන කාමරයේ නිදාගෙන සිටියාය. මහ රෑ නින්දෙන් අවදි වූ ඇයට දක්නට ලැබුණේ කිසියම් පුද්ගලයකු තමාගේ කාමරයේ සිට පහත මාලයට පඩිපෙළ දිගේ බැස යන අන්දමය. ඇය නිසොල්මන්ව බලා සිටියේ මේ අවස්ථාවේ කෑගැසුවහොත් ජීවිතයට යම් අනතුරක් වේ යැයි කල්පනා කිරීම නිසාය.

කාමරයට ඇතුළු වූ සොරා අතේ උල් පිහියක්ද තිබෙනු ඇය දැක තිබුණාය. කෑකෝගසා කලබල කිරීමට උත්සාහ නොගෙන නිසොල්මනේ බලා සිටීමට ඇය සිටීමට ඇය සැබැවින්ම ගෙන තිබුණේ බුද්ධිමත් තීරණයකි. පඩිපෙළ දිගේ හිමින් සීරුවේ පහත මාලයට බසිමින් සිටි සොරාගේ අඩි ශබ්දය ළමා නිවාසයේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුට ඇසී ඇත. 

රෑ දෙගොඩ හරි ජාමයේ තරප්පු පෙළ දිගේ යන්නේ මොකාදැයි කියා සේවකයින් දෙදෙනො පිවරම් කර බැලීමට ගොස් ඇත්තේ පොලු කැබලි දෙකක්ද අතැතිවය. 

මූ නම් හොරෙක් වගේ පිහියකුත් අතේ තියෙනවා. අපිට කොටයිද දන්නේ නැහැ. පරිස්සමින් බලාගෙන ඉමු. කියා එක් සේවකයෙක් අනෙක් සේවකයාට රහසින් කොඳුරා පවසා ඇත. පඩිපෙළ දිගේ හිමින් සීරුවේ පා තබමින් බිමට බසිමින් සිටි හොරා සේවකයින් දෙදෙනා දැක තිබේ. 

එකෙක්වත් ළඟට කිට්ටු වෙන්න එපා. පණට ආදරයක් තියෙනවා නම් උඹලා දෙන්නාව මෙතැනිම බාවනවා කිට්ටුවට ආවොත්. හොරා පිහිය පෙන්වමින් කියා ඇත්තේ මරාවේෂ වූ අයෙකු මෙන්ය. හොරාගේ පිහියට බය වීපසුබැස යාමට සේවකයින් දෙදෙනා කිසිසේත් සූදානම් වූයේ නැත. 

ඕන දෙයක් වෙච්චිදෙන්, මූට පැනලා යන්න දෙන්න නරකයි. කොහොම හරි මූව අපි දෙන්නා අල්ලාගනිමු. අපිව බයකරලා පැනගන්නයි හදන්නේ. එක් සේවකයෙක් අනෙක් සේවකයාට කියා ඇති අතර ඔවුන් දෙදෙනා තීරණය කර ඇත්තේ එක්වරම හොරා ළඟට කඩාවැදී පොලුවලින් පහර පිට පහරදී කෙසේ හෝ මෙල්ලකර ගැනීමටය. 

ළමා නිවාසයට පිහියක් අතැතිව ඇතුළු වී සිටි හොරා එක්වරම ඔහු අතේ තිබූ පිහිය අමෝරා මාරාන්තික පහරක් එල්ල කිරීමට සූදානම් වනවාත් එක්කම සේවකයින් දෙන්නා ඊට ඉස්සර වූහ. 

පොලු පහරවලට ගොදුරු වූ හොරා බිම ඇදගෙන වැටුණේ ළමා නිවාසයේ නේවාසිකව සිටින දුලාංජලීගේ කාමරයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගණකයත්, අයිපෑඩ් එකක් හා ජංගම දුරකථන දෙකක්ද සමගය. 

පොදු පහර වැදී බිම ඇදගෙන වැටුණු හොරා ඊළඟ නිමේෂයේදී නැගිට දිව ගිය අතර ඔහුට අහුලා ගැනීමට හැකි වූයේ එක් ජංගම දුරකථනයක් හා ඔහු ගෙනා පිහිය පමණකි. 

කලබලයට පත් හොරා දිවගොස් තිබුණේ ඔහු දෙපයට පැළඳගෙන පැමිණි සෙරෙප්පු ජෝඩුවද අමතක කර දමාය. පොලු පහරකා බිම ඇද වැටෙද්දී හොරා පැළඳගෙන සිටි සෙරෙප්පු ජෝඩුව යලි දෙපයේ දමාගෙන යාමට නොහැකි වී ඇත. 

ළමා නිවාසයේ බලධාරීන් මේ බව දකුණු කළුතර පොලීසියට ගොස් පැමිණිලි කළ පසු අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ළමා නිවාසයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.  හොරා කවුද කියා සොයා ගැනීමට ළමා නිවාසයේ දමා ගොස් තිබූ සෙරෙප්පු ජෝඩුව කදිම හෝඩුවාවක් විය. 

මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධ 200කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකරදී ශ්‍රී පොලීසියේ වාර්තා පිට වාර්තා තබා ඇති හොරණ මූලස්ථාන පොලීසියේ නිල සුනඛ ග්‍රේරෝ ළමා නිවාසයට කැඳවාගෙන ආවේ සෙරෙප්පු දෙකෙන් පලාගිය චෞර කප්පිත්තා අල්ලා ගැනීමට කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වෙතැයි සිතූ නිසාය. 

පොලිස් කොස්තාපල් එච්.එම්.බී. දුමින්ද (44839) මහතා සෙරෙප්පු ජෝඩුව ග්‍රේරෝට ඉව කළාට පසු ඌ කිලෝමීටර් 2කට වඩා වැඩි දුරක් ගෙවාගෙන ගොස් අන්තිමේ නතර වුණේ පයාගල පොලිස් වැයික්කයට අයත් කලමුල්ල ගමේ ගෙදරකට ගොස්ය. පොලිස් නිල සුනඛ ග්‍රේරෝ ගොස් නතර වුණ ඒ ගෙදර පදිංචිව සිටින්නේ එසේ මෙසේ හොරෙක් නොව හොර කප්පිත්තෙකි. 

මේ ගෙදර පදිංචිව සිටින්නේ සොරකම් සම්බන්ධයෙන් කාලයක් සිරදඬුවම් ලබා සිට මාස පහකට පමණ කලින් නිදහස ලබා පැමිණ සිටින අයෙක් බවත් පොලීසිය දැනගත්තේ ඒ ගෙදර උදවියගෙනි. 

පොලිස් නිල සුනඛයා ඒ ගෙදර යන විට සොර කප්පිත්තා ගෙදර සිටියේ නැත. දකුණු කළුතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් දින කිහිපයකට පසු මේ චෞර කප්පිත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ බලවත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය. ළමා නිළිය පරිහරණය කරමින් සිටියදී සොරාගත් ජංගම දුරකථනයද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත අවසානයේ පොලීසිය සොයාගෙන තිබිණි. 

ළමා නිවාසයක රැකවරණය ලබන අසරණ ළමුන්ගේ බඩුමූට්ටු සොරකම් කරගෙන යාමට පැමිණි මේ නරුමයා පොලීසියට කොටු කර ගැනීමට හැකි වූයේ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ නිසාය. 

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් නිල සුනඛ අංශයේ අධීක්ෂණ නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඒ. රත්නසිරි මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛ ග්‍රේරෝ මෙහෙයවා ඇත. 

Source - ලංකාදීප දියත අතිරේකය




Share this