Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts

ප්‍රේමලාල් ජයසේකරට ඇප

පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක්‌ සම් බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි රත්නපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) රු. ලක්‍ෂයක මුදල් ඇපයක්‌ පිට මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ (07 දා) නියෝග කළේය. ලක්‍ෂ 10 ක ශරීර ඇපයක්‌ද නියම කළ අතර ඔහුගේ සමීප ඥතීන් දෙදෙනකු ඊට අත්සන් තැබිය යුතු බවට නියෝග කෙරිණි.

විදේශ ගතවීමට නොහැකි වන පරිදි ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ අතර සෑම මසකම අවසාන දිනයේ පොලිසියේ පෙනී සිටින ලෙස ද ඔහුට නියම කෙරිණි. රත්නපුර මහාධිකරණයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇති අතර අභියාචනාධිකරණය ඔහුට ඇප නියම කළේ. ඊට එරෙහිව ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක්‌ සලකා බැලීමෙන් අනතුරුවය.

මාලනී ගුණරත්න සහ රෝහිනී වල්ගම යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඇප ඉල්ලීම සලකා බැලිණි. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතර ඇය එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය පළ කළේ නැත.

ගීතා අයවැය වර්ජනය කිරීමේ රහස මෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය 2 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ අයවැය ඡන්ද විමසීම සඳහා සහභබාගි නොවී ඇත්තේ අයවැයට විපක්ෂව කටයුතු කර මන්ත්‍රී ධුරය අහෝසි කර ගැනීමෙන් වැළිකීමේ උපක්‍ර‍යක් ලෙසින් බව අනාවරණය වේ. 

මෙරට නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට මැතිවරණ  සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය හිමි ගීත කුමාරසිංහ මහත්මිය පසුගිය  මහ මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තද එය නීති විරෝධී බව ගාල්ලේ හිටපු මන්ත්‍රී පියසේන ගමගේ මහතා චෝදනා කර ඇති අතර මේ වන විට එය අධිකරණයේ විභාග වන නඩුවකි. 

කුමාරසිංහ මහත්මිය දැඩි මහින්ද  හිතවාදිනියක වන අතර පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි. අයවැය ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය. මෙහිදී ආණ්ඩුවට එරෙහි වීම තමන්ගේ මන්ත්‍රී ධුරය අහිමි වීම කෙරෙහි බලපානු ඇති බවට ඇයගේ දේශපාලන උපදේශකයන්ගෙන් ලැබුණු උපදෙස් නිසා එදින ඇය පාර්ලිමේන්තුව මගහැර තිබේ. මේ දිනවල ගමගේ මහතා ලවා නඩුව ඉල්ලා අස්කර ගැනීමේ උත්සාහයක්ද ක්‍රියාත්මකව පවතී. 

ඒ කෙසේ නමුත් එදින මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව තවත් කිහිප දෙනෙකනුම ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකීම සඳහා පාර්ලිමේන්තුව වර්ජනය කළේය. ඒ අතර  ජනක බණ්ඩාර තෙන්නකෝන් හා මනුෂ නානායක්කාර මහතා ද සිටිනවා. 

දේශපාලන බලපෑමෙන් යොවුන් පාර්ලිමේන්තුවේත් වංචා

2015 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාව හරහා පවත්වනු ලබන යොවුන් පාර්ලිමේනතුව සඳහා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය පසුගිය දා පැවැත්වුණා. එය  2015 නොවැම්බර් 07 වන දා  දිවයින පුරා මධ්‍යස්ථාන 334කදී පැවැත්වුණා. 

දිවයින පුරා අපේක්ෂකයින්  657 දෙනෙක් මේ සඳහා  ඉදිරිපත් වුණා. යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂයෙකුට තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව විසින් මෙම අපේක්ෂකයින් සියලු දෙනා දැනුවත් කිරීමක් කර තිබුණා.

එහිදී විශේෂයෙන් චක්‍රලේඛයේ 1.3 වගන්තිය යටතේ එම අපේක්ෂකයා තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු‍ බව පැහැදිළි ලෙසින් දක්වා තිබෙනවා. 

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ  රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තරඟ වැදුණු  එක් අපේක්ෂයෙකු පිලිබඳ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන්. 

ඒ සඳහා මොහු රත්නපුර ඕපනායක 244B මල්මීකන්ද වසමේ ග්‍රාම නිළධාරීවරයා හරහා තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මොහු නාම යෝජනා භාර දී ඇත්තේ ඕපනායක දකුණු හුණුවල පැහැසර අරුණ යෞවන සමාජ සභාපතිවරයා ලෙස වුවත් යොවුන් පාර්ලිමේනතු ඡන්ද හිමි නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන්ව ඇත්තේ මල්මීකන්ද ඇත්පවුර යෞවන සමාජය ලෙසින්.

එම නිසා 2015 යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද හිමි නාමලේඛණයේ පරස්පරතා පැවැති බවටද අනාවරණ වනවා. 

රක්වාන ආසනයට අදාල නොවන ග්‍රාම නිළධාරි වසම් කීපයක තරුණ තරුණියන් ඇතුළත් කර තිබෙනවා.

2004 දී උපන් ළමුන් පවා එම ජන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කර තිබී ඇති බවට වාර්තා වනවා. යොවුන් පාර්ලිමේනතු මැතිවරණය සඳහා තරඟ කිරීමට අවශ්‍ය  මූලික සුදුසුකම වන අපේක්ෂකයා තරඟ කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචියවත් නොමැති මොහු රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අසත්‍ය  තොරතුරු ඉදිරිපත් කරමින් මැතිවරණය සඳහා මෙලෙස ඉදිරිපත් වී තිබෙනවා.

 මේ වන විට සියලුම සාක්ෂි සහිතව ලිඛිත විරෝධතාවක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්දක වැලියන්ගේ මහතාට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් යම් යම් දේශපාලන බලපෑම් මත ඇතැම් බලධාරින් මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සහ දරන බවක්  ඇති බවයි මෙම සිද්ධිය හේතුවෙන් අසාධාරණය වුවන් අප වෙත කියා සිටියේ. 

මෙම යොවුන් පාර්ලිමේන්තුව අනාගත දේශපාලකයන් බිහි කරනා තැනක් ලෙසිනුයි දේශපාලකයන් සහ ජාතික තරුණ සේවා සභාව සලකනු ලබන්නේ. එහෙත් එම අනාගතයේ බිහිවන්නන්ද මෙහි සිටම මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන්නන් නම් ඔවුන් තවදුරටත් යොවුන් පාර්ලිමේන්තුව තුළ රඳවා තබා ගත යුතුද? එවැන්නන්ගෙන් රටට, තරුණ ප්‍රජාවට ආදර්ශයක් දිය හැකිද? එම නිසා මෙම  කාරණය සම්බන්ධයෙන්  බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි සිරසගොසිප් අප අවධාරනය කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව සහ අදාළ පාර්ශ්වයන් විසින් ගනු ලබන තීන්දු  තීරණ සම්බන්ධයෙන් අප දැඩි ඕනෑකමකින් යුතුව බලා සිටින බවද අවධාරණය කරන්නෙමු. 

පුංචි ඡන්දය ගැන ශ්‍රීලනිපයේ මත ගැටුම්!

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සහ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලවත් මතභේද උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත වී ඇත්තේ පළාත් පාලන ඡන්දය සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව පැවැත්වීමටයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ මාර්තු මාසයට පෙර අනපේක්ෂිත දිනයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. එහෙත් ඒ පක්ෂයේම තවත් පිරිසක් ප්‍රකාශ කොට ඇති මතය වන්නේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන මැතිවරණය පැවැත්වීම මාස කිහිපයකින් ප්‍රමාද කිරීම පක්ෂයට හිතකර බවයි.

මීට අමතරව මැතිවරණයට ඉදිරිපත් වන්නේ සන්ධානයක් වශයෙන් ද, තනිවම ද යන කරුණ සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි මතභේද උද්ගතව තිබේ.

පක්ෂයේ ප්‍රධාන නිලතල දරන ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් වශයෙන් එළැඹෙන මැතිවරණයේදී තරග කළ යුතු බවයි.

‍මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පක්ෂයේ බහුතර පිරිසකගේ මතය වන්නේ පළාත් පාලන ඡන්දය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බව හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව නායකත්වය ලබා දිය යුතු බවයි.

මනාප ක්‍රමය නිසා මට පාර්ලිමේන්තු යන්න බැරි වුණා - හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක

මට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණේ මේ මනාප ක්‍රමය නිසයි. මේ ක්‍රමයට කාන්තාවන්ට ඉදිරියට එන්න හරිම අමාරුයි. මගේ ආසනය බටහිර කොළඹ, පුංචිම ආසනය. නායකතුමත් බටහිර කොළඹ. අනෙක් අය දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයෝ. ඒ අයත් එක්ක මට මනාප ඡන්ද 5000ක්වත් ගන්න බැරිව යනවා. 

දිස්ත්‍රික්කය වටේ මනාප ඡන්ද ගන්න මට අපේක්ෂකයෝ 22ක් එක්ක රණ්ඩු කරන්න වෙනවා. මට තිබුණු විශාලම ගැටලුව මගේ ආසනය කුඩා වීමයි. මුජිබර් රහුමාන් ඡන්ද 43000න් පටන් ගත්තේ. ඉරාන් වික්‍රමරත්න ඡන්ද 30000න්, මංජු ශ්‍රී ඡන්ද 38000න්, හිරුණිකා කොළොන්නාව ආසනය ඡන්ද 19000න් පටන් ගන්නවා. ඒ අයට හොඳ ඡන්ද පදනමක් තමන්ගේ ආසනයෙන්ම ලැබී තියෙනවා. 

අනෙක මේ මනාප ක්‍රමය තුළ වෙනස් අයෙකුගේ ආසනයට ඇතුල්වීමත් ප්‍රශ්නයක් වන අවස්ථා තිබුණා. මට වියදම් කරන්න විශාල මුදලක් තිබුණෙත් නැහැ. යාළුවෝ කීප දෙනෙක් කටවුට් ගහලා දුන්නා. අවශ්‍ය වී තිබුණේ මහින්ද රාජපක්ෂට බලය ඒම වැළැක්වීමයි. ඒක සිදු වුණා. මම ඒකට බොහොම සතුටු වෙනවා. 

මට තර්ජනත් ආවා. ඒත් මම රාජපක්ෂ දූෂිත රජයේ අකටයුතුකම් ගැන දිගින් දිගටම කතා කලා. මගේ ඒ උත්සාය සාර්ථක වුණා. ඉදිරියටත් කාන්තා හා ළමා ආරක්ෂාව වෙනුවෙන් මම පෙනී සිටිනවා. 


මහමැතිවරණයෙන් එජාපය ජයගනියි - එජාපයට ආසන 106යි - සන්ධානයට 95යි

පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡුන්ද ප‍්‍රතිඵලවලට අනූව එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රී ආසන 106ක්  ලබා ගනිමින් ‍ජයග‍්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. මෙහිදී කරට කර සටනක් ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අවසන් මැතිවරණ ප‍්‍රතිඵලවලට අනූව මන්ත‍්‍රී ආසන 95 ක් ලබා ගත්තේය.

අවසන් ඡුන්ද ප‍්‍රතිඵලවලට අනූව එක්සත් ජාතික පක්ෂය දිස්ත‍්‍රීක්ක 22න් දිස්ත‍්‍රීක්ක 11 ක බලය ලබා ගැනීමට සමත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත‍්‍රීක්ක 08  ජය ලබා ගැනීමට හැකිවිය.


සමස්තයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඡුන්ද 5,098,927 ක් සමගින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර  13 ක්ද සමගින් මන්ත‍්‍රී ආසන 106 ක් ලබා ගැනීමට හැකිවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 4,732,669 ක් සමගින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර 12 ක්ද සමග ලබා ගත් මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව 95 කි.

එසේම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡුන්ද 515,963 ක් සමගන් ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීධූර 2ක් ලබාගෙන පාර්ලමේන්තුවේ මන්ත‍්‍රීධර 16 ක් ලබාගැනීමට සමත්වී ඇත.

එමෙන්ම ජ.වි.පෙ. ඡුන්ද 543,944 සමගින් ජාතිත ලැයිස්තුවේ මන්ත‍්‍රීධූර 2ක් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධර 6ක් ලබාගැනීමට සමත් වී තිබේ.

ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ඡුන්ද 33,481 ලබාගනිමින්   පාර්ලිමේන්තුවේ  ආසනයක්   ලබාගෙන ඇති අතර මුස්ලිම් කොංග‍්‍රසයද ආසන එකක් ලබාගෙන ඇත.

ඒ අනූව 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රීධූර 106 ක් ලබා ගනිමින් ජයග‍්‍රහණය කිරීමට සමත්ව තිබේ.


රත්නපුර තැපැල් ඡන්දයේ ජය සන්ධානයට

2015 මහමැතිවරණයේ රත්නපුර දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 11,367ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 9673ක්ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1808ක්ද ලබාගෙන තිබෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 58ක් සහ බොදුජන පෙරමුණ ඡන්ද 33ක් ලබාගැනීම සමත්ව තිබෙනවා. 

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ 25ක් දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 25 දෙනෙකු නෙරපා හැර අලුතෙන් 25 දෙනෙකු පත් කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා. 
නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා සහ  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද සිටින බව වාර්තා වනවා. 

මහින්දගේ යටිනුවර රැස්වීමේ විකෘති කල ජාතික කොඩි එසවේ

මහින්ද රාජපක්ෂ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමකට දමා තිබූ විකෘති කරන ලද ජාතික කොඩිවල ඡායාරූප ගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන්ට හිටපු ජනපතිගේ ආරක්ෂකයන් බව කියන පිරිසක් විසින් රඳවාතබාගෙන ඇති අතර. එම ආරක්ෂකයෝ ඡායාරූප ශිල්පියාව තවත් ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගෙන සිට ඇත.

පොලිස් ආරක්ෂකයන් බව පවසා ඇති එම පිරිස ඔහුට තර්ජනය කර ඇත්තේ එම පින්තූර පළ නොකරන ලෙසයි.

මැද සිංහයා සිටින කොන් හතරේ බෝපත් ඇති එම කොඩි වල පාට වර්ණ තීරු අයත්වන්නේ නැත, මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පක්ෂ උද්ඝෝෂණයකදීද මෙම කොඩි ප්‍රදර්ශනය කෙරුන අතර ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් ද ඇති විය.

ජාතික කොඩිය අවභාවිතා කරතියි එහිදී එම කණ්ඩායමට විරුද්ධව චෝදනා එල්ල විය. කෙසේ වෙතත් රාජපක්ෂ පාර්ශවයට දිගින් දිගටම චෝදනා එල්ලවන්නේ ජාතිවාදය වපුරමින් ඡන්දය ජයග්‍රහනය කිරීමට තැත් කරන බවටයි.

කුඩු එතනෝල් හා දූෂණ නැති රටක්‌ බිහි කර ගැනීම ජනතාවට භාරයි

කුඩු, එතනෝල්, වංචා දූෂණ නැති රටක්‌ බිහිකර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (13 වැනිදා) කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් කණ්‌ඩායම් නායකයා ලෙස නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව මාධ්‍යය අමතමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා පැවසුවේ මෙවර ජනතා විමුක්‌ති පෙරමුණ සියලුම දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බවයි. ජනවාරි 08 වැනිදා දූෂිත පාලනය අවසන් කර ජනතාව දුන් ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට ගෙන යැමට ජනතා විමුක්‌ති පෙරමුණ ඇප කැප වන බවත් ඒ සඳහා ජනතාව තම පක්ෂය වෙනුවෙන් විශ්වාසය තබන බව තමාට විශ්වාස බවයි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. 

එජාපය අද මහනුවරින් ඡන්ද වැඩ අරඹයි

එක්‌සත් ජාතික පක්‍ෂය අද (14 දා) එම පක්‍ෂයට සහාය දක්‌වන සෙසු පක්‍ෂ නියෝජිතයන් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියසදී යහපාලනයක්‌ සඳහා කැපවන බවට ප්‍රතිඥ දී පසුව සිය මංගල රැලිය මහනුවර වෙළෙඳ පොළ අසලදී පවත්වමින් මෙවර මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඊට පෙර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම නායකයන් අස්‌ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.

එජාපය සමග එක්‌ව අලියා ලකුණ යටතේ පෙරමුණක්‌ වශයෙන් තරග වැදීමට නාමයෝජනා ලබාදුන් සියලුම පක්‍ෂ නායකයන් ද එම අවස්‌ථාවට සහභාගී වීමෙන් පසු සවස දෙකට පමණ පැවැත්වෙන මංගල රැලියේ වේදිකාවට එක්‌වන බවද එජාප ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අද මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන එජාපය අගෝස්‌තු 14 වැනිදා දක්‌වාම විවිධ අයුරින් එම ප්‍රචාර කටයුතු සිදු කිරීමට සැලසුම් කරන අතර එජාප නායකයා සහභාගී වන ප්‍රධාන රැස්‌වීම් හතරක්‌ පමණ දිනකට පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව එජාප නායක ප්‍රමුඛ එම පක්‍ෂ ක්‍රියාකාරීන් සහභාගී වන ප්‍රධාන රැලි හතරක්‌ හෙට (15 දා) සවස කලවාන, අගලවත්ත, බුලත්සිංහල සහ මතුගම නගරයේදීද පැවැත්වීමට නියමිතයි.

එජාපය අනිද්දා (16දා) නිකවැරටිය, නාත්තණ්‌ඩිය, කටාන, නිට්‌ටඹුව යන නගරවලද ඊට පසුදින (17 දා) පිටිගල, බද්දේගම, කරන්දෙණිය, බලපිටිය යන නගරවලද ප්‍රධාන ජනරැලි සංවිධානය කර ඇත.

සන්ධාන, එජාප හා ජවිපෙ ජාතික ලැයිස්තු මෙන්න

ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 196 දෙනා හැරුණු විට ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාගැනෙන අතර එසේ තෝරාගන්නා 29 දෙනා එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රම‍ාණය මත තීරණය වනවා. ඒ අනූව ‍ප්‍රධාන දේශපාලන පක්ෂ තුන විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයගේ නාමලේඛන පහත පරිදි නම් කර ඇත.


එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව 

01. ඒ.එච්.එම් ෆවුසි
02. මහාචාර්ය ජී.එල් පීරිස්
03. ඩිව් ගුණසේකර
04. මහාචාර්ය තිස්ස විතාරණ
05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
06. ආචාර්ය සරත් අමුණුගම
07. තිස්ස අත්තනායක
08. ඩිලාන් පෙරේරා
09. ජෙයරත්නම් ශ්‍රී රංගා
10. රෙජිනෝල්ඩ් කුරේ
11. ජීවන් කුමාරතුංග
12. ටිරාන් අලස්
13. මලිත් ජයතිලක
14. ශිරාල් චිරන්ත ලක්තිලක
15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
16. ප්‍රභා ගනේෂන්
17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
18. මහාචාර්ය රජීව් විජේසිංහ
19. මහාචාර්ය කපිල ගුණසේකර
20. ආචාර්ය බී.ඒ රත්නපාල
21. එච්.එම් චරිත හේරත්
22. කරුපයියා ගනේෂමූර්ති
23. ලෙස්ලි දේවේන්ද්‍ර
24. සෝමවීර චන්ද්‍රසිරි
25. එම්.එස් උතුමා ලෙබ්බෙ
26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
27. පියසිරි විජේනායක
28. එම්.එෆ්.එම් මුසම්මිල්
29. ගෙවිඳු කුමාරතුංග

එක්සත් ජාතික පක්ෂයේ  ජාතික ලැයිස්තුව

01. මලික් සමරවික්‍රම
02. කරු ජයසූරිය
03. ඩී.එම් ස්වාමිනාදන්.
04. අනෝමා ගමගේ
05. කේ. වේලායුදම්
06. මොහොමඩ් තම්බි හසන් අලි
07. අහමඩ් මොහොමඩ් ජමීල්
08. පූජ්‍ය අතුරලියේ රතන හිමි
09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10. තිලක් ජනක මාරපන
11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12. නිසාම් කාරියප්පර්
13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14. මොහොමඩ් සනූන් අසාද් සාලි
15. අර්වින් වීරක්කොඩි
16. රාජා උස්වැ‍ටකෙයියාව
17. විමල් ජයසිරි
18. සුරනිමල රාජපක්ෂ
19. වින්ස්ටන් පතිරාජා
20. සිරිනාල් මෙල්
21. ඒ සසිදරන්
22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23. ක්‍රිෂාන්ත කුරේ
24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29. ජී.වී ගුණරත්න මිය


ජනතා විමුක්ති පෙරමුණේ  ජාතික ලැයිස්තුව

01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ - හිටපු විගණකාධිපති
02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය - ජ්‍යෙෂ්ඨ නීතිඥ
03. උපුල් කුමාරප්පෙරුම - ජ්‍යෙෂ්ඨ නීතිඥ
04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා - මහාචාර්ය
05. චාල්ස් දයානන්ද - කථිකාචාර්ය
06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් - ආචාර්ය
07. මහාචාර්ය සුසිරිපාල මානවඩු - මහාචාර්ය
08. මහාචාර්ය කපිල පෙරේරා - මහාචාර්ය
09. මහාචාර්ය පියදාස රණසිංහ - මහාචාර්ය
10. ආචාර්ය ජනක් කුමාරසිංහ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් - ව්‍යාපාරික
12. එස්. සජීව චාමිකර - පරිසරවේදී
13. එස්. ඇන්තනි ජීවා - ප‍්‍රවීණ කලාකරු
14. විනී හෙට්ටිගොඩ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
15. නයෝමි ප‍්‍රියන්ති රත්නායක - ව්‍යාපාරික
16. අරුන් හේමචන්ද්‍ර - විධායක නිලධාරි
17. සරණපාල ජයසූරිය - රංගන ශිල්පී
18. අනුරුද්ධ ජයසිංහ - සිනමාවේදී
19. අනුර ශ‍්‍රීනාත් - ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී
20. ආචාර්ය ජිනසේන හේවගේ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
21. විමලසිරි පුංචිහේවා - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
22. එස්.එෆ්. හිස්බි මව්ලානා - ඉංග‍්‍රීසි ගුරු
23. පී.ඩබ්. රෝහිණී බණ්ඩාර - සමාජ කි‍්‍රයාකාරිණි
24. මංජුල සමරසේකර - සමාජ කි‍්‍රයාකාරී
25. ධම්මික කුමුදු ෆොන්සේකා - ව්‍යාපාරික, කළමනාකරු
26. මහින්ද තෙන්නකෝන් - ව්‍යාපාරික
27. කාන්ති පුෂ්පලතා - විශ‍්‍රාමික ගුරු
28. එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි - ව්‍යාපාරික
29. ජානක අධිකාරි - නීතීඥ

තනි වූ සෝමවංශ මැතිවරණයේදී ස්වාධීන වෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා තීරණය කර තිබෙනවා. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිසක් ජනතා සේවක පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබුවා. අනතුරුව ඔවුන් ඒකාබද්ධව තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව ඉදිරි මැතිවරණයේ දී සන්ධාන ගතවීමට සැලසුම් කර තිබුණි.


එහෙත් සන්ධානගතවීමට සිටි පාර්ශ්වකරුවන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට තීරණය කර ඇති බැවින් සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිස මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් මැතිවරණ කාලය තුළ ස්වාධීනව කටයුතු කරමින් සිය මතවාදය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවයි  සෝමවංශ අමරසිංහ මහතා පවසන්නේ. 

දේශපාලනඥයන්ගෙන් මට දැඩි බලපෑම් එල්ල වනවා

රත්නපුර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් තමන් මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වීමත් සමඟම ඇතැම් දේශපාලනඥයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා පවසනවා. 

අපි දේශපාලනය කරන්න එනවට සමහරු කැමැති නැහැ. අපිට අකුල් හෙළනවා. ඔවුන් හිතනවා දේශපාලනය තමන්ගේ බූදලයක්‌ කියලා. රත්නපුර දිස්‌ත්‍රික්‌කයට එජාපයෙන් මා තරග කරන්නේ රටට සේවයක්‌ කරන්නයි. මැතිවරණයෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් වැඩි මනාප මා ලබාගන්නවා. මට අකුල් හෙළන උදවිය කවුද කියලා හෙළි කරන්න මම කැමැති නැහැ. උඩ බලාගෙන කෙළ ගහන්න හොඳ නැහැ. සමහරුන්ට මාව අභියෝගයක්‌ වෙලා. මාත් එක්‌ක සහයෝගයෙන් වැඩ කළොත් ඔවුන්ට වාසියක්‌ උදාවෙයි කියලා ඔවුන් හිතන් නෑ. එහෙම උදවිය සමගයි අද මට දේශපාලනය කරන්න සිද්ධවෙලා තියෙන්නේ... යෑයි ද කමල් අද්දරආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර මහ මැතිවරණයකදී රන්ජන් රාමනායක මහතාද මේ ආකාරයෙන්ම ජනතාවට පොරොන්දු දෙමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වුවත් දිස්ත්‍රික්කයේ ජනතාවට ඔහුගෙන් සැලසුණු සේවා යහපත් නොවන බවයි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව පවසන්නේ. ඒ ඔහු පසු කාලිනව වෙනත් දිස්ත්‍රික්කවලින් ඡන්දයට ඉදිරිපත් වීමයි. මෙවර ඔහු ඉදිරිපත් වන්නේ දිවුලපිටිය ආසනයෙනි. 

ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් වෙන්ව යන ලකුණු?

රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත්, මේ මොහොත වන විටත් එම සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා. 

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා කියා සිටියේ මෙම පිරිස චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතුව එක්‌සත් යහපාලන ජාතික පෙරමුණින් තරඟ කරනු ඇති බවයි.

යම් යම් සාකච්ඡා පැවැත්වෙන නමුත් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ 

මෛත්‍රීට-මහින්දට එරෙහිව යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ සූදානම්

ශ්‍රීලනිපයේ මෙතෙක් නාමයෝජනා සඳහා අත්සන් නොතැබූ ප්‍රබලයන්, ජාතික හෙළ උරුමයේ සංශෝධිත නම වූ එක්සත් යහපාලන ජාතික පෙරමුණ, මෙන්ම වාමාංශික නැඹුරුවකින් යුතු පක්ෂ ඒකාබද්ධව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" යනුවෙන් "අලියා" ලකුණින් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට යන බව වාර්තා වේ.

මෙම තීරණය හෙට දිනයේදී ප්‍රකාශයට පත්වනු ඇති බවත්,එක්සත් ජාතික පක්ෂය හෙට දිනයේ සම්මේලනයක් පවත්වා මෙම යෝජනාව සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ආදී ප්‍රබලයන් බොහෝ පිරිසක් මේවන තෙක් එජනිස නාමයෝජනා සඳහා අත්සන් තබා නොමැති බව සඳහන්ය.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට යළි නාමයෝජනා ලබාදිය යුතු බවට එතුමාගේ හිතෛෂිවන්ත පිරිස් දිගින් දිගටම ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය දෙකඩවන ලකුණු පහළවිය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදිය යුතු බවට පෙනී සිටි පාර්ශවය මේවන විට ජයග්‍රහණය කර ඇති බැවින් දූෂිත බවට චෝදනා එල්ලවුණු තවත් බොහොමයකටද නාමයෝජනා ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමත් සමග ඊට එරෙහිව යහපාලනයක් සඳහා පෙනී සිටි ශ්‍රීලනිප ප්‍රබලයින් විකල්ප පෙරමුණක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන්නට වූහ.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස මෙලෙස "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" හෙට දිනයේ කලඑළි බැසීමට මේවන විට සියලු කටයුතු සූදානම්ව ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Source - Adaderana.lk

දුමින්ද, රෝහිත, සජින් වාස්, මහින්දානන්ද දම ජොනස්ටන් ඇතුළු 8කට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා නැති වෙන ලකුණු

විනය විරෝධී චෝදනාවලට ලක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අටදෙනකුට පමණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, සජින් වාස් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ අතර වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්ට ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

හිටපු ජනපති මහින්ද සන්ධානයෙන් මහ ඡන්දෙට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ඉඩලබාදීමට ඊයේ රාත්‍රීයේ පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයට පැමිණ ඇති බව එම පක්සයෙ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනයක දැක්වෙනවා. 

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූයේ ඊයේ රාත්‍රීයේ පැවැති මෙම රැස්වීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබානොදීමට තීරණය වූ බව මීට පෙර දේශපාලන ආරංචි අනාවරණ කළා. 
සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.




මහින්දට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා නැහැ


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතිබව වාර්තා වනවා.



සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී මෙම තීරණය ජනපතිවරයා ප්‍රකාශකර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර  හිටපු ජනපති ප්‍රමුඛ කණ්ඩායම වෙනම පක්ෂයකින් ඉදිරිපත් වීමේ සුදානමක් ඇතිබවද වාර්තා වනවා.

ශ්‍රීලනිප අගමැති අපේක්ෂකත්වය චමල් රාජපක්ෂටද?

හිටපු කථානායක චමල් රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳ පක්ෂයේ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අමාත්‍ය සරත් අමුණුගම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ පක්ෂයේ සිටින පාර්ශව දෙකටම එකඟ විය හැකි පුද්ගලයෙක් ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂගේ නම අගමැති අපේක්ෂකත්වය සඳහා යෝජනා වී ඇති බවයි.

"මේක දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ, හුඟ දෙනෙක් යෝජනා කළා, ඒ ගොල්ලන්ට චමල් රාජපක්ෂ මැතිතුමා වගේ පුද්ගලයෙක් වටා එක් වෙලා සටන ගෙනියන්න පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුළුවන් කියලා" යනුවෙන් සරත් අමුණුගම අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.

අගමැති අපේක්ෂකත්වය පිළිබඳව පක්ෂයේ විවිධ මත ඇති බව පැවසූ අමාත්‍ය සරත් අමුණුගම තමන් ඇතුළු කමිටුවක් එවන් විවිධ මත මධ්‍යස්ථ තැනකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි පැවසුවේ.

" හැම කොටසකටම පිළිගන්න පුළුවන් යෝජනාවක් ගෙන්න අපි උත්සාහ කරනවා, එක යෝජනාවක් තමයි දෙපාර්ශවයට ම පිළිගන්න පුළුවන් චමල් රාජපක්ෂ වගේ කෙනෙක් ගේන එක, නමුත් ඒක ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ"

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු කථානායකවරයා අතර 30 වැනිදා රාත්‍රියේ සාකච්ඡාවක් සිදු වූ බවට "ලක්බිම" පුවත්පත ඊයේ තම මුල් පුවත ලෙස වාර්තා කර තිබුණි.

නමුත් ඉන් පෙර මාධ්‍ය වාර්තා පල වී තිබුණේ හිටපු කථානායකවරයා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම නිවේදනය කළ මැද මුලන උත්සවයට ද හිටපු කතානායක චමල් රාජපක්ෂ සහභාගි වී සිටියේය.


Source - BBC සංදේශය