දේශපාලන බලපෑමෙන් යොවුන් පාර්ලිමේන්තුවේත් වංචා

2015 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාව හරහා පවත්වනු ලබන යොවුන් පාර්ලිමේනතුව සඳහා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය පසුගිය දා පැවැත්වුණා. එය  2015 නොවැම්බර් 07 වන දා  දිවයින පුරා මධ්‍යස්ථාන 334කදී පැවැත්වුණා. 

දිවයින පුරා අපේක්ෂකයින්  657 දෙනෙක් මේ සඳහා  ඉදිරිපත් වුණා. යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂයෙකුට තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව විසින් මෙම අපේක්ෂකයින් සියලු දෙනා දැනුවත් කිරීමක් කර තිබුණා.

එහිදී විශේෂයෙන් චක්‍රලේඛයේ 1.3 වගන්තිය යටතේ එම අපේක්ෂකයා තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු‍ බව පැහැදිළි ලෙසින් දක්වා තිබෙනවා. 

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ  රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තරඟ වැදුණු  එක් අපේක්ෂයෙකු පිලිබඳ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන්. 

ඒ සඳහා මොහු රත්නපුර ඕපනායක 244B මල්මීකන්ද වසමේ ග්‍රාම නිළධාරීවරයා හරහා තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ග්‍රාම සේවා සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මොහු නාම යෝජනා භාර දී ඇත්තේ ඕපනායක දකුණු හුණුවල පැහැසර අරුණ යෞවන සමාජ සභාපතිවරයා ලෙස වුවත් යොවුන් පාර්ලිමේනතු ඡන්ද හිමි නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන්ව ඇත්තේ මල්මීකන්ද ඇත්පවුර යෞවන සමාජය ලෙසින්.

එම නිසා 2015 යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද හිමි නාමලේඛණයේ පරස්පරතා පැවැති බවටද අනාවරණ වනවා. 

රක්වාන ආසනයට අදාල නොවන ග්‍රාම නිළධාරි වසම් කීපයක තරුණ තරුණියන් ඇතුළත් කර තිබෙනවා.

2004 දී උපන් ළමුන් පවා එම ජන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කර තිබී ඇති බවට වාර්තා වනවා. යොවුන් පාර්ලිමේනතු මැතිවරණය සඳහා තරඟ කිරීමට අවශ්‍ය  මූලික සුදුසුකම වන අපේක්ෂකයා තරඟ කරන මැතිවරණ කොට්ඨාසයේ ස්ථිර පදිංචියවත් නොමැති මොහු රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් අසත්‍ය  තොරතුරු ඉදිරිපත් කරමින් මැතිවරණය සඳහා මෙලෙස ඉදිරිපත් වී තිබෙනවා.

 මේ වන විට සියලුම සාක්ෂි සහිතව ලිඛිත විරෝධතාවක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්දක වැලියන්ගේ මහතාට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් යම් යම් දේශපාලන බලපෑම් මත ඇතැම් බලධාරින් මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සහ දරන බවක්  ඇති බවයි මෙම සිද්ධිය හේතුවෙන් අසාධාරණය වුවන් අප වෙත කියා සිටියේ. 

මෙම යොවුන් පාර්ලිමේන්තුව අනාගත දේශපාලකයන් බිහි කරනා තැනක් ලෙසිනුයි දේශපාලකයන් සහ ජාතික තරුණ සේවා සභාව සලකනු ලබන්නේ. එහෙත් එම අනාගතයේ බිහිවන්නන්ද මෙහි සිටම මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන්නන් නම් ඔවුන් තවදුරටත් යොවුන් පාර්ලිමේන්තුව තුළ රඳවා තබා ගත යුතුද? එවැන්නන්ගෙන් රටට, තරුණ ප්‍රජාවට ආදර්ශයක් දිය හැකිද? එම නිසා මෙම  කාරණය සම්බන්ධයෙන්  බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවයි සිරසගොසිප් අප අවධාරනය කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව සහ අදාළ පාර්ශ්වයන් විසින් ගනු ලබන තීන්දු  තීරණ සම්බන්ධයෙන් අප දැඩි ඕනෑකමකින් යුතුව බලා සිටින බවද අවධාරණය කරන්නෙමු. 

Share this