සැමියා සහ නැන්දම්මා ඇතුළු ඥාතීන් එක්ව ගුරුවරියකට නෙළයි
දෑවැද්දක් නොගෙනා බවට චෝදනා කරමින් සැමියා, නැන්දම්මා ඇතුළු ඥාතීන්ගෙන් පහර කන ලද පාසල් ගුරුවරියක් පසුගිය 15 වනදා කෑගල්ල මහ රෝහලට ඇතුළුත් කෙරුණු බව පොලීසිය පවසනවා. මෙලෙස රෝහල් ගත කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ පදිංචිව සිටි කෑගල්ල නගරයට ආසන්න විද්‍යාලයක සේවයේ නියුක්ත වී සිටි උපගුරුවරියකි.
ප්‍රතිකාර ලබමින් සිටින ගුරුවරිය මීට වසර හතරකට පමණ පෙර ගුරුවරියගේ දෙමාපියන් විසින ගෙන ආ යෝජනාවක් අනුව දේවාලේගම ප්‍රදේශයේ තරුණයකු සමග විවාහ වී තිබෙනවා. පසුව සැමියාගේ නිවසේ පදිංචියට පැමිණි මෙම පාසල් ගුරුවරිය ආසන්න පාසලක උපගුරුවරියක් ලෙස සේවයේ නිරතව තිබෙනවා. සැමියා විදේශ රටක සේවය කර නැවත දිවයිනට පැමිණ මේ වන විට ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස වෘත්තිය කරගන යන බවට වාර්තා වනවා. සැමියාගේ ණයක් පියවා ගැනීම පිණිස ණයක් ලබාගන්නා ලෙස අවස්ථා ගණනාවකදීම සැමියා විසින් බිරිඳට ඇවටිලි කර තිබෙනවා. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව මීට මාස දෙක තුනක සිට මෙම හේතුව නිසා සුළු සුළු ගැටුම් පැවති බවට වාර්තා වන බවයි පොලීසිය පවසන්නේ.
එසේම විවාහ වී පැමිණීමේදී කිසිදු දෑවැද්දක් රැගෙන නොපැමිණි බවට දෝෂාරෝපණය කරමින් කිහිප අවස්ථාවකදීම සැමියා, සැමියාගේ මව විසින් බැණවැදී ඇති බවද වාර්තා වේ. පසුගිය 15 වනදා රාත්‍රීයේදී සැමියා, නැන්දම්මා සහ සැමියාගේ සහෝදරියක් විසින් මෙම පහරදීම සිදු කර ඇත්තේ අදාළ දෑවැදි ප්රශ්නය නැවතත් කතාබහට ලක්වූ අවස්ථාවකදීයි. පහර කෑමට ලක්වූ පාසල් ගුරුවරිය කෑගල්ල මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගන්න බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගුරුවරියගේ තත්ත්වය බරපතල නැති බවද පොලීසිය පවසනවා.