දේශපාලන අනාතයෝ දැන් මගේ හඳහන අරගෙන මං මැරෙන දවස හොයනවා.. - ජනපති මෛත්‍රී කියයි

''දේශපාලන වශයෙන් පරාජයට පත් ඇතැම් උදවිය මේ දිනවල මගේ කේන්දරය අරගෙන ඇවිදිනවා. මම මැරෙන්නේ කවද්ද, කොහොමද කියලා සොයා බලනවා. ආණ්ඩුව වැටෙන දිනය සොයනවා. ඔවුන්ට මම දේශපාලන වශයෙන් අනුකම්පා කරනවා...'' යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල පැලවත්තේ දී ඊයේ ප්‍රකාශ කළේය.

''දීර්ඝ කාලයක් පරණ වෙච්ච පෙට්ටගමක තිබිලා එළියට ගත්ත ආණ්ඩුවක් ගානට සමහරු නව රජය ගැන කතා කරනවා. ආණ්ඩුවේ නිල කාලය අවුරුදු 5ක් තියෙනවා. ඒ කාලයේ දී ජනතාවට දුන් සියලු පොරොන්දු ඉටුකරනවා..'' යැයිද ජනාධිපතිවරයා පැවැසී ය. විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයන්ගේ උද්ඝෝෂණය පැවැති ස්ථානයට ගොස් පොදු අපේක්‍ෂකයා වශයෙන් කට වචනයෙන් දුන් පොරොන්දුව හරියටම වසරක් ගතවූ තැන අද ඉටුකරන බව ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ අනියම් සේවකයන් 3,544කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් බත්තරමුල්ල ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයේ දී ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය. මම ඉතාමත් සතුටු වෙනවා අද අපේ රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් වන ඒ වගේම ශක්තිමත් පදනමක් ඇති ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ මේ වැදගත් අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව.

කවුරුත් ප්‍රකාශ කළා වගේම මෙයට වසරකට පෙර එදා මැතිවරණ ව්‍යාපාරයේදී නලින් බණ්ඩාර මන්ත්‍රිතුමන් රවි කරුණානායක ඇමැතිතුමන් මට මේ පිළිබඳව පණිවුඩයක් දුන්නා මේ පිරිස පාරෙ ඉන්න බව. මම ඒ වෙලාවේ ඒ දැනුම්දීමට අනුව ඒ පිරිස කෑගසමින් සිටි ස්ථානයට ගියා. ගිහින් පොරොන්දුවක් දුන්නා.

මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් අපේ රටේ එක් එක් ආණ්ඩුවල මැතිවරණ පොරොන්දුත් ඒවා ඉටුවීම සහ ඉටු නොවීම පිළිබඳව ලොකු ඉතිහාසයක් තිබෙනවා. අපේ ආණ්ඩුව අද වසරක් ගත නොවූ ආණ්ඩුවක්. අපේ දේශපාලන ප්‍රතිවාදීන් මම දැක්කා පාර්ලිමේන්තුවෙත් දේශපාලන වේදිකාවලත් මාධ්‍ය තුළත් සමාජයේ විවිධ අවස්ථාවන් තුළ විවේචනය කරනවා. මේ ආණ්ඩුව පොරොන්දු අමතක කර තිබෙන බව ප්‍රකාශ කරනවා.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ළඟදීම කඩා වැටෙන බව කියනවා. මේ ආණ්ඩුව කඩා වැටෙනකම් බලා ඉන්න අයට මම අනුකම්පා කරන්නේ ඔවුන්ගේ තිබෙන දේශපාලන දැනුමේ ප්‍රමාණය අනුවයි. සමහර අය මේ ආණ්ඩුව වැටෙන්නෙ කොතැනටද කියලා ගණන් හදලා බලනවා.

පරාජය වෙච්ච සමහර අය මගේ කේන්දරේ අරගෙන ඇවිදිනවා. මම මැරෙන්නෙ කවද්ද? කේන්දරේ කොහොමද කියලා බලනවා. මම අහන්නේ මේ අය මොන තරම් දේශපාලන වශයෙන් පිරිහිලාද ගුණාත්මක බවින් පිරිහිලාද. ආණ්ඩුව ගැන කතා කරන විට මේ අවුරුද්දේ ජනවාරි මාසේ 8 වැනිදායි මම ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ. දින 100 වැඩපිළිවෙළ තුළ නොයෙක් අභියෝග තිබුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලයක් නොමැතිව තුනෙන් දෙකේ බලයෙන් මේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල නොවූ ආකාරයේ ඓතිහාසික වාර්තාවක් අපි තිබ්බා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කරන කොට එතුමාට එක්සත් ජාතික පක්ෂයේ ආසන 47යි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණේ ආසන 142යි. ඒ තුළ අපි සාකච්ඡා කරලා අපිට පුළුවන් වුණා දින 100 වැඩපිළිවෙළ සාර්ථක කරගන්න. ව්‍යවස්ථාව සංශෝධනය කළ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහතික කළා.

එපමණක් නොවෙයි මේ රටේ රාජ්‍ය සේවය ස්වාධීන කළා. අධිකරණය ස්වාධීන කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ තිබූ ජනතා ඉල්ලීම් ඉෂ්ට කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැම්මා.

වසරක කාලයක් ආණ්ඩුවක් විදියට කටයුතු කිරීමේදී බොහෝ වෙලාවට ජනතා දුක්ගැනවිලි රැකී රක්ෂා වෙන්න පුළුවන්, ආර්ථික සාමාජික ගැටලු වෙන්න පුළුවන් ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මුල් මාස කීපය තුළ සියල්ලටම විසඳුම් ලබාදීලා ඒවා සාර්ථක කරපු ආණ්ඩුවක් ලෝකේ කොහේවත් නැහැ.

අපේ ආණ්ඩුවේ නිල කාලය අවුරුදු 5ක් තිබෙනවා. ඒ අවුරුදු 5 තුළ මේ පොරොන්දු ඉටුකිරීම තමයි අපේ වගකීම වෙන්නේ. ඒක අපි හරියට ඉෂ්ට කරනවා. මේ මහපාරේ කෑගහපු උද්ඝෝෂණය කරපු පෙළපාළි ගියපු ඔබේ බලාපොරොත්තු ඔබට දුන් පොරෙන්දු ඉටු කළා වගේම මැතිවරණ ව්‍යාපාරය තුළ අපි ජනතාවට දීපු ලිඛිත නොවූ, ලියලා දුන්නේ නැති කටවදනින් දීපු පොරොන්දු අපි ඉටු කළා.

ඒ වගේම ලියලා අපේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ලිඛිතව ඇතුළු කළ ප්‍රතිපත්ති අපි ඉටු කරන බව ඉතා පැහැදිලිව වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපි රජයක් විදියට මේ කටයුතු කරන විට හිතන්න මේක අවුරුදු 10ක් ගියපු ආණ්ඩුවක් නොවේ. අවුරුදු 4ක් 5ක් ගියපු ආණ්ඩුවකුත් නොවේ. මහ මැතිවරණෙ තිබුණේ අගෝස්තු මාසේ 17 වැනිදා. මාස තුනයි. සමහර අය කතා කරන්නේ මේ ආණ්ඩුව දීර්ඝ කාලයක් පරණ වෙච්ච, හරියට පෙට්ටගමෙන් එළියට ගත්ත ගානටයි. එහෙම තමයි ඒගොල්ලො හිතන විදිය.

අපි හිතන්නේ ඒගොල්ලො හිතන විදියට නෙවෙයි. අලුත් ලෝකෙ නව තාක්ෂණයත් එක්ක නව පරපුරත් එක්ක නව සංවර්ධනය වූ රටවල් වේගයෙන් ඉදිරියට යන විට අපේ මාතෘ භූමිය ලෝකයේ ශේ‍ර්ෂ්ඨ රාජ්‍යයක් විදියට ගොඩනඟන්නයි.

ඒ නිසා මේ යුගයේ පවතින අභියෝග අප තේරුම් ගත යුතුයි. අපේ රටේ අනාගත බලශක්ති කළමනාකරණයේදී අපි බලාපොරොත්තු රාශියක් තබාගෙන සිටිනවා. විදුලිබල මණ්ඩලය අපි ඉතා සතුටට පත්වන ආයතනයක්. එහි කළමනාකාරිනිය වගේම අවසාන සේවක මහතාද අපේ ගෞරවයට පාත්‍ර වෙනවා.

ඔබ සෑම කෙනෙක්ම ඔබේ දැනුම අවබෝධය සහ බුද්ධිය ආයතනයේ දියුණුව සඳහා ලබාදී තිබෙනවා. විදුලි බල මණ්ඩලයට ඒ ගෞරවය රටේ ජනතාවගෙනුත් ලැබෙනවා. බලශක්ති සම්පත ගැන කතා කරනවිට අපි අපිටම තිබෙන අභියෝග පැහැදිලිව තේරුම් ගතයුතු වෙනවා.

පසුගිය සතියේ පැරිසියේ තිබූ රාජ්‍ය නායක සමුළුවට ලොව සියලු රාජ්‍ය නායකයන් සහභාගි වුණා. මමත් සහභාගි වුණා. එය ඊයේ අවසන් වුණා. එහිදී එළැඹුණු අවසන් නිගමන මෙහි ප්‍රධානීන් සියලු දෙනාම දන්නවා. ස්වභාවධර්මයාගේ පැවැත්ම වෙනුවෙන් මානව සංහතියේ සහ සත්ත්ව ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ඒ තීරණ ගනු ලැබුවා.

බලශක්තිය පිළිබඳ සංවර්ධිත රටවල් කටයුතු කිරීමේදී සොබාදහම අත්හැරීමේ විපාක අත්විඳිනවා. ඔවුන් ජාත්‍යන්තර ගිවිසුම්වලට අස්සන් කළේ නැහැ. අපි සෑම අවස්ථාවකම ඒවාට අස්සන් තැබූ රටක්. පැරිස් සමුළුවේ මේ සියලු රාජ්‍යයන් එකඟතාවන්ට පැමිණියා. නව සොයා ගැනීම තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ළඟාවීම අද සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි වගකීමක් එය අපේ සියලු ආයතනවල වගකීමක් බව මා ප්‍රකාශ කරනවා.

රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා නියෝජ්‍ය ඇමැතිතුමා පිළිබඳව කතා කළා. නියෝජ්‍ය ඇමැතිතුමා ඇමැතිතුමා ගැන කතා කළා. මම රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාට භාරදුන්නේ එතුමාගේ හැකියාව ගැන දන්නා නිසයි. නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මම ළඟදී සමීපව ඇසුරු කළේ. එතුමන්ටත් හොඳ සතුටින් ඉන්න පවුල් සංස්ථාවක් තිබෙනවා. මේ සුසංයෝගය ආයතනයේ අභිවෘද්ධියට හේතුවන බව අපට විශ්වාසයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා
අපි අද වේගවත් ගමනක යෙදෙනවා. පරිසරය රකිනවා. අවම පිරිවැය ඇතිව විදුලිය නිපදවනවා. අපි විදුලිය මිලදී ගන්නවා. එය විනිවිද භාවයෙන් කරනවා. පාරිභෝගිකයා කැමැති නැහැ විදුලිය නැතිව මොහොතක් ගතකරන්න. දශ ලක්ෂ 24,000ක ලාභයකට යන්න අපිට පුළුවන් වෙනවා. 5800ක් හිටියා මෑන්පවර් සේවකයන්. අපි එයින් කොටසක් අද ස්ථිර කරනවා.

තවත් පිරිසක් ඉන්නවා විදුලි බල මණ්ඩලය තුළ. ඔවුන්ගේ ප්‍රශ්නත් විසඳනවා. අපි ඍජු ප්‍රතිපත්ති සහිත ගමනක් යනවා. 2014 අපේ මුදල් මහ බැකුවේ සුරැකුම් පත්වල දානවා කියා වෙන තැනක තිබුණා. අපි නීතිය ඉදිරියට ගියා. අපේ මුදල් කෝටි 295ක් අපිට හිමිවිය යුතුයි.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා අපේ ඇමැතිතුමා හිමින් කතා කරන හිමින් වැඩ කරන ස්ථාවරව වැඩ කරන කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක වැඩ කරන එක සතුටක්. පොරොන්දු ඉටු කරන ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, ආණ්ඩුවක් අපට තිබෙනවා. මේ ජය ලැබුණේ ඔබ ජනවාරි 8 වැනිදා රටේ කළ පරිවර්තනය අනුවයි.

රටේ වටිනාම රාජ්‍ය ආයතනය වගේම වගකීම ඉහළින් ඉටු කරන ආයතනය විදුලිබල මණ්ඩලයයි. මේ ආයතනයට රටට වැඩකළ ඔබට පත්වීම් දීම සතුටක්. සතුටින්ම ඉන්න නියෝජ්‍ය ඇමැති මම. මම වාසනාවන්තයි. අපි ප්‍රතිපත්තියක් අනුව වැඩ කරනවා. මෑන් පවර් ක්‍රමය කම්කරු අයිතීන්ට විරුද්ධයි. අපි පිමි කිහිපයක් පැන්නා. එකක් මෙගාවොට් 20 සුළං බලාගාර සඳහා අපි ටෙන්ඩර් කැඳවූවා.

Share this