එංගලන්තයෙන් මහේලට ඇරයුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායමේ පිතිහරඹය පිළිබඳ උපදේශකවරයකු ලෙස පත්කිරීමේ සූදානමක් පවතින බැව් විදෙස් වෙබ් අඩවි වාර්තා  කරනවා.

වසර 2014 ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක ශුරතාව දිනාගත් මොහොතේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් මේ යෝජනාව පිළිබඳ මහේල සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් වාර්තාවේ. ෆාබ්‍රේස් දැනට එංගලන්ත පිලේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී.

වසර 18ක කීර්තිමත් ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන මහේල සිය වාර්තාගත පිතිහරඹයෙන් ලොව පුරා විශාල අවධානයක් දිනාගත් ක්‍රීඩකයෙකි. ඔහුගේ සේවය ලබාගැනිමේ අවධානය යොමුවී ඇත්තේ මහේලට විශේෂයෙන් ආසියානු කලාපයේ ක්‍රීඩාංගණවල ස්වභාවය ගැන හසල දැනුමක් ඇති බැවින් එය එංගලන්තය කණ්ඩායමට උපයෝගි කරගැනිමේ අරමුණින් යුතුවය. මහේල දැනට බටහිර ඉන්දීය කොදෙව් දුපත් සමූහයේ ජැමෙයිකානු පිල නියෝජනය කරමින් මේ දිනවල පැවැත්වෙන ‘කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටී.

ඉදිරි වසර එකහමාරක කාලය තුල දී එංගලන්ත පිල පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ද, ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ද තරග සංචාර කිහිපයකට සහභාගි වීමට නියමිතය. එමෙන්ම ඒ කාලය තුල ශ්‍රී ලංකා පිල හා පාකිස්තාන පිල එංගලන්තයේ සංචාරය කිරීමට ද නියමිතය. මිට අමතරව 2016 විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ඉන්දියාවේ දී පැවැත්වේ.

‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩවිය කළ විමසුමකදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශයකු කියා ඇත්තේ මහේල ජයවර්ධන තම කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස බඳවා ගැනීම ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවය. දැනට ඔවුන්ගේ පිතිහරඹ පුහුණුකරු ලෙස එරට හිටපු ක්‍රීඩක මාක් රාම්ප්‍රකාශ් කටයුතු කරන අතර දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු දඟපන්දු යවන්නකු වන මුෂ්තාක් අහමඩ් කටයුතු කරයි.

මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායම හා එක්වීමේ පුවත ශ්‍රී ලංකාවේ දැඩි අවධානයකට ලක් වන එකක් විය හැකි බව ‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩවියේ අදහසවී තිබේ. මහේල සතු ක්‍රිකට් දැනුම ඕනෑම කණ්ඩායමකට ප්‍රතිලාභ රැසක් හිමිකර දීමට සමත් එකක් බවට කිසිදු සැකයක් නොමැති බව කියන එම වෙබ් අඩවිය දිගුකාලීන ගනුදෙනුවකට ඔහු එක් කොට ගැනීමෙන් එංගලන්තයට වඩාත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකිවනු ඇතැයි ද කියා සිටී. එහෙත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ඇන්ඩෘ ස්ට්‍රාවුස් මේ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළැඹී නොමැති බව වාර්තා වේ.

Share this