සුදු වෑන් නෑ - ඩිෆෙන්ඩර් තියෙනවා [වීඩියෝ සහිතයි]

සුදු වෑන් භීෂණයක් ගැන කිය කියා සිටියද දැන් එවැන්නක් දක්නට නොලැබෙන බවත්, දැන් ඇත්තේ ඩිෆෙන්ඩර් භීෂණයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගැනීමේ සිද්ධියට අදාළව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ ආණ්ඩුවට තාමත් ඇත්තේ රාජපක්ෂ භීතිකාව බවත්, එය රෝගයක් බවත් හෙතෙම කියා සිටියේ අද (23) දිනයේ කඳාන, නාගොඩ ප්‍රදේශයේ රථ වාහන අංගණයක් විවෘත කිරීමට පෙර එය නිරීක්ෂණ සඳහා සහභාගි වෙමිනි. මෙම රථ වාහන අංගණය හෙට දිනයේ විවෘත කිරීමට නියමිතව තිබුණද මහින්ද රාජපක්ෂ මහතා ට හෙට දිනයේ පෝය දිනය බැවින් සහභාගිවීමට නොහැකි හෙයින් අද දිනයේ පැමිණ එම ව්‍යාපාරිකයාට සුභ පැතූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එජාපය පරාජය කරවා සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා සම්පූර්ණයෙන්ම සහය ලබාදෙන බවයි.


Share this