විජයදාස පවුලේ අය ඇවන්ට්ගාඩ් සභාපතිත් එක්ක ගත්ත ආතල් ෆොන්සේකා හෙලි කරයි

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැතැයි ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ. අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. විශාල මුදලක් වැය කර ඇවන්ට්ගාඩ් සමාගමේ සේවකයින් පිරිසක් පසුගියදා විහාර මහදේවීයට  ගෙන්වා තමන් අල්ලස් ලබාගත් බවට චෝදනා කළ බවත්, තමන් කිසිවිටෙකත් ඔහුගෙන් අල්ලස් නොගත් බව එහදී සදහන් කලේය.

එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත්, එසේම ඔහු දූෂිතයෙකු නිසා  පක්ෂයෙන් ඉවත් කළ බවත්, ෆොන්සේකා පැවසීය. කපිල රත්නායක ප‍්‍රාඩෝ රථයක් භාවිතා කළ බවද එය කොහෙන්දැයි ඇසූ විට එය තමාගේ ඥාති සහෝදරයෙකුගෙන් ලැබුණ එකක් යැයි පැවසූ බවද ඔහු කියා සිටියේය. එය ඇවන්ට්ගාඞ් සභාපතිගෙන් ලැබුණු එකක්දැයි නොදන්නා බව පැවසූ සරත් ෆොන්සේකා මහතා කෙසේ වෙතත් හමුදාවෙන් පලාගිය සෙබළුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සේවය නොකරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙසද නිශ්ශංක සේනාධිපතිට අභියෝගයක් කළේය.

සේනාධිපති හමුදාවේ සේවය කළේ අවුරුදු 6ක් බවද, තමන් අවුරුදු 40ක් හමුදාවේ සේවය කළ බවද ඔහු කීවේය. එසේම ඇවන්ට්ගාඩ් සභාපති දෙන්නේ පුංචි පුංචි අල්ලස් නොව මිලියන 500, 600 අල්ලස් බවත්, ඔහු හා සබඳතා පැවැත්වූ විජයදාස රාජපක්ෂ තමන් කළ අභියෝගයට මෙතෙක් පිළිතුරු නැති බවත්, ඔහු ඉන්නේ ”කටේ පිට්ටු හිරවෙලා” වගේ බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

2006දී විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී  ඉඳුම් හිටුම්, ප‍්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්, ෆොන්සේකා පැවසීය.

එවැනි සමීප සබඳතාවයක් නිශ්ශංක සේනාධිපති සමග විජයදාස රාජපක්ෂගේ ඇති බවත් එය හෙළි කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමාට වෙලේ විදානේ  යැයි කියන විජයදාස රාජපක්ෂ ගැන තවත් කරුණු හෙළි කිරීමට සුදානම් බවත්,‍ ඔහු අවධාරණය කළේය.





























Share this